කටුනායක වෙළද කලාපය වසා දැමිය යුතුයි – චමිලා තුෂාරි

කටුනායක නිදහස් වෙළද කලාපයේ කොවිඩ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළද කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිදු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධිකාරිණි චමිලා තුෂාරි මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ වත්මන් තත්ත්වය පිලිබද අප විමසා සිටි අවස්ථාවේදීය. මිනුවන්ගොඩ කොරෝනා බ‍්‍රැන්ඩික්ස් පොකුර මේ වන විට මිනුවන්ගොඩ හා ඒ අවට පමණක් නොව රට වටා ව්‍යාප්ත වෙමින් ඇත.

කොරෝනා ආසාදිත පුද්ගලයින් කටුනායක නිදහස් වෙළද කලාපයේද මේ වන විට කර්මාන්ශාලා 04 කින් වාර්තා වී ඇත. නිදහස් වෙළද කලාපය තුල කර්මාන්ත ශාලා 67 ක් පමණ තිබෙන අතර එහි සේවක සේවිකාවන් 37,000 කට ආසන්න සංඛ්‍යාවක් සේවය කරති.

මෙවන් පසුබිමක කටුනායක වෙළද සේවික සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමක පවතින බව නොරහසකි. ඒ සම්බන්ධයෙන් චමිලා තුෂාරි මහත්මිය මෙසේ පැවසුවාය.

දැනටමත් ෆැක්ටරි 04 ක් වහලා කොවිඞ් ආසාදිත අය වාර්තා වීම නිසා. තවත් සමහර ෆැක්ටරි කිහිපයක් මේ වන විට නිවාඩු දීලා තියෙනවා සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. විශේෂයෙන් ඩයිටෙක්ස් කර්මාන්තශාලාව නිවාඩු දීලා තියෙන්නේ ඒකේ සේවක සේවිකාවන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් පාර්සලයක්ද සමගින්. එහෙම හොදට සිය සේවකයින්ට සලකන ආයතනත් තියෙනවා.

අද (12) වෙද්දි කටුනායක ඉන්න සමහර ළමයි වාහන අරන් ගම් වලට යන්න සුදානම් වෙලා. මොකද? මේ පවතින තත්ත්වයත් සමග එයාලා බය වෙලා ඉන්නේ. ඉතිං, ළමයි නිවාඩු දාලා ගම් වලට යන්න පටන් අරන්. මේක හොද තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම කටුනායකට තවමත් නිරෝධායන ඇදිරී නිතිය නැති නිසා මේ ළමයි එළියේ ඇවිදිනවා. ඔවුන්ට PCR කරනතුරු බෝඩිමට වෙලා ඉන්න කිව්වට ඔවුන් එහෙම රැදෙන්නේ නැතුව ඇවිදිනවා. මේ තුලින් කොවිඩ් ව්‍යාප්ත වීමේ අවදානමක් තියෙනවා.

මේ අවස්ථාවේ අප කළ යුත්තේ ෆැක්ටරි රැක ගැනීමට වඩා කම්කරුවා රැක ගැනීමයි. මොකද? කම්කරුවෝ ජිවත් වුණොත් තමා ෆැක්ටරි පවත්වාගෙන යන්න පුලූවන්. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පහළට ඇද දාලා වැඩ කරන්න බැහැ.

සමහර නේවාසිකාගාර වල 50-60 ළමයි එකට ඉන්නේ. ඔවුන් රෝගී වුණොත් කවුද වැඩ කරන්නේ? ඒ නිසා වහාම රජය මෙයට මැදිහත් විය යුතුයි. මැදිහත් වෙලා අවම වශයෙන් දවස් 5 ක්වත් මේ ෆැක්ටරි වහලා ළමයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය තහවරු කළ යුතුයි.

නිදහස් වෙළද කලාපයේ සියලූම සංගම් ඉදිරිපත් වෙලා පහුගිය සතියේ මේ සම්බන්ධ කරුණු සදහන් කරලා අපි කම්කරු අමාත්‍යාංශයේ කාර්ය සාධන බලකායට ලියුමක් දුන්නා.

ඒ වගේම මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් සමාගම වගකීම් විරහිතව කටයුතු කරලා තියෙනවා. ඔවුන් සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් කරලා නැහැ. වහාම ඒ ගැන විමර්ශනයක් කළ යුතුව තියෙනවා. ඊට නඩු පැවරිය යුතුයි. විශේෂයෙන් කම්කරු දෙපාර්තමේන්තුව මේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ. මේ වෙලාවේ ෆැක්ටරි ආරක්ෂා කරන එක නෙමේ කළ යුත්තේ රට රැකීමයි.

කටුනායක නිදහස් වෙළද කලාපය සම්බන්ධයෙන් අදහස් දැක් වු වාණිජ හා කාර්මික සේවක සංගමයේ සහකාර ලේකම් සුගත් රාජපක්ෂ මහතා පැවසුයේ මෙවැන්නකි.

කොවිඩ් ආසාදිත අය වාර්තා වීමත් සමග සෞඛ්‍ය අංශ කටුනායක අවට සියලූම ෆැක්ටරි ළමයින්ට නිවේදනයක් නිකුත් කළා PCR පරික්ෂණ කරනවා. එතෙක් බෝඩිම් වලට වෙලා ඉන්න කියලා. මගේ අදහස නම් ෆැක්ටරි මට්ටමින් මේ පරික්ෂණය සිදු කළ යුතුයි. ඒ වගේම මේ සේවක සේවිකාවන්ට තැනින් තැන බෝඩිම් වීමට නොදී ඔවුන් සේවය කරන ෆැක්ටරියේම නේවාසිකාගාරයක්, සෞඛ්‍ය පහසුකම් ඇතුව ලබා දෙන්න හැකිනම් මේ අවස්ථාවේ සුදුසුයි. ඒ වගේම ඔවුන්ට පිටතින් ආහාර පාන ලබා ගැනීමට ඉඩ නොදී එයද ෆැක්ටරියෙන්ම සිදු කළ හැකි නම් මොවුන්ගේ සෞඛ්‍යාරක්ෂිත බව රැකෙනවා.

දැන් ෆැක්ටරි වල වැඩ කරන බොහෝමයක් ඉන්නේ බෝඩිම් වල. ඒවායේ කිසිම සෞඛ්‍ය පහසුකමක් නැහැ. දුරස්ථභාවයක් නැහැ. ඒ නිසා නිදහස් වෙළද කළාපයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමග එක් වී සියලූම ෆැක්ටරි වලින් තම තමන්ගේ ආයතන වල සේවය කරන සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ගැන නිර්දේශයක් ලබා දී ඔවුන්ව සේවයේ යෙදවීම සුදුුසු බව මගේ හැගීමයි.

ශානිකා

Social Sharing
නවතම