ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව හා චීනය

තෙවැනි වරටත් සක්‍රීය වූ කොරෝනා වෛරසය නිසා මේ වන විට පුද්ගලයින් 1053 කු පමණ ආසාදිතයින්ව සිටිති. මිනුවන්ගොඩ, ගම්පහ ඇතුලු ප්‍රදේශ රැසක්  ඇත්තේ නිරෝධායන පොලිස් ඇඳිරි නීතියට යටත්වය. මේ ආසාදිතයින්ගේ සමීපතමයින් ඇතුලු බොහෝ දෙනෙකු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය කරමින් පවතියි.

එපමණක් නොව විදේශයේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් පවා ගුවන් තොටුපලේදීම PCR පරීක්ෂණයට යොමු කර නිරෝධායන කටයුතු සඳහා යොමු කරන්නේ රජයේ විශේෂ උපදෙස් මතය. ලංකාවේ දැන් පවතින තත්ත්වය මත නිරෝධායනය අනිවාර්ය කර ඇත.

ජනාධිපති හා අගමැති හමුවීම සඳහා චීන රජයේ දූත පිරිසක් 08 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙවන් පසුබිමක් තුලය.

හිටපු චීන විදේශ අමාත්‍ය සහ වත්මන් කොමියුනිස්ට් පක්ෂ දේශපාලන කාර්යාංශයේ සාමාජික යැංග් ජීයේචී මහතාගේ නායකත්වයෙන් යුත් ඉහළ පෙලේ දූත පිරිසක් මෙලෙස පැමිණ ඇත.

ගෝලීය කොරෝනා වසංගතයෙන් අනතුරුව චීන දූත පිරිසක් දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙයය. ගෝලීය වසංගතයට එරෙහිව සටන් කිරීම සහ ආර්ථික සබඳතා පුනර්ජීවනය කිරීම යන ක්ෂේත්‍රයන්හී ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවත් සංචාරයේ නිරත චීන දූත පිරිස ඊයේ  (09) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණි.

මෙම දූත පිරිස ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් 08 වනදා පාර්ලිමේන්තුවේ උණුසුම් සංවාදයක් ඇති විය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟය.

පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ පෙරේරා මහතා විසින් ඇයගෙන් විමසා සිටියේ මොවුන් ලංකාවට පැමිණි පසු නිරෝධායනය කරන්නේද යන්නය.

සෞඛ්‍ය අමාත්‍යවරිය ඊට පිලිතුරු දෙමින් කියා සිටියේ චීනයේ සිට මෙරටට පැමිණෙන විශේෂ දූත පිරිස අතර චීන කොමියුනිස්ට් පක්ෂයෙහි දේශපාලන බලමණ්ඩලයේ දෙවැනියා ද සිටින බවත් ඔවුන් අතිශය ප්‍රබලයින් බැවින් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියකට ලක්කිරීමට හැකියාවක් නොමැති බවය.

එහිදී ඇය වැඩිදුරටත් මෙසේද කියා සිටියාය.

“මෙහෙමයි, මේ අය ලංකාවට එනවිට ඔවුන් අපත් එක්ක එකඟතාවය තියෙන්නෙ ඔවුන් එහෙන් PCR පරීක්ෂණ කරගෙන එන්න ඕනෙ. ඔවුන් ලංකාවට ආවාට පස්සෙ අපි PCR පරීක්ෂණ ඔවුන්ගේ සිද්ධ කරනවා.

මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න බැහැ. මම හිතන්නෙ මම ඒකට වෙනම …. මේ කලබලේට උත්තරයක් දීගන්න බෑ. නමුත් … මේ අය නිරෝධායනය කරන්නෙ නෑ. මේ අය දවසකට එන්නෙ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න ඉහළම තලයේ නිලධාරී තුමෙක් එන්නේ. ඒ කියන්නෙ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ මා දන්නා තරමින් දෙවැනියා වගේ ඉන්න කෙනෙක්. ඉතිං චීන කොමියුනිස්ට් පක්ෂය කොයි ආකාරයටද චීනය තුළ රාජ්‍ය කරගෙන යන්නෙ කියන එක ඔබතුමන්ලා දන්නවා” යනුවෙනි.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේ දේශපාලන නියෝජිතයින් පමණක් නොව ඉදිරියේදී චීන ව්‍යාපාරික නියෝජිතයින් ද මෙසේ විශේෂ ආකාරයෙන් මෙරටට පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකාව චීනයත් සමඟ ගුවන් ගමන් සඳහා ඉදිරියේදී එයාර් බබ්ල් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

මෙයින් පෙනී යන්නේ ආණ්ඩුවේ නිරෝධායන ක්‍රම කිහිපයක් ඇති බව නොවේද?

-ශානිකා-

Social Sharing
නවතම