පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් මනාප වෙනුවෙන් ද්වන්ද සටනක

මහ මැතිවරණයට තවමත් දිනයක් නියම නොවුනද මේ වන විටත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු අරඹා ඇති අයුරු පෙනෙන්නට තිබේ.

මේ මනාප සටන අතරේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද දැඩි තරඟයක් නිර්මාණය වී ඇති අයුරුද දක්නට තිබෙන  අතර පොදුජන පෙරමුණ ඉන් ඉදිරියෙන් සිටියි.

මට ආසන්නතම සිදුවීම් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් අතර බිම් මට්ටමේ සිටම මේ වන විට ද්වන්ද සටනක් ආරම්භ වී ඇති අයුරු දැකිය හැකිය.

ඒ  අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ආචාර්ය නාලක ගෝඩහේවා අතරය. ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයට අලුත් මුහුණක් වන අතර ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ සංවිධානයේ සාමාජිකයෙකි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන්නෙකි.

මේ වන විට ආචාර්ය නාලක ගොඩහේවාට සහාය දක්වන ඔහුගේ ආධාරකරුවන් බිම් මට්ටමේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අරඹා ඇති අතර ඔවුන් ජනතාවට කියා සිටින්නේ මේ රජය ඉදිරියට ගෙන යමින් ජනාධිපතිවරයාට ආණ්ඩුව කිරිමට නම් මෙහි සිටින හොරු, දුෂිතයින් පලවා හැරිය යුතු බවත් ඒ සඳහා වියත් මඟ සාරාජිකයින් පාර්ලිමේන්තුවට පත් කර ගත යුතු බවත්ය. මෙම නිවෙස් වලට පැමිණෙන්නන් නිවසේ ගෘහ මුලිකයාගේ දුරකථන අංකය රැගෙන යනු ලබන අතර ඉන් ස්වල්ප වේලාවකින් ඊට ආචාර්ය නාලක ගොඩහේවා විසින් දුරකථන ඇමතුමක් ලබා දීම සිදු කරයි. එමෙන්ම ජංගම දුරකථනයට සිංහල භාෂාවෙන් විවිධ පණිවිඩ ද ඡන්ද දායකයින් වෙත යවනු ලබයි. ආචාර්ය නාලක ගොඩහේවා මෙහිදී සම්පුර්ණයෙන්ම තාක්ෂණය භාවිතා කරමින් මැතිවරණ ක්‍රියාවලියට එක්ව සිටීමද ගම්පහ දිස්ත්‍රික් ඡන්ද දායකයින්ට එක්තරා ආකාරයක අලුත් අත්දැකීමකි.

එමෙන්ම මෙහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව සියුම් කැරැල්ලක් ගොඩනැගෙමින් පවතින අයුරුද දැකිය හැකිය.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙනුවෙන් සහාය දක්වන ආධාරකරුවන් සමෘද්ධිලාභීන් රැස් වන අවස්ථාවේ, 5000 දීමනාව ලබා ගන්නා අවස්ථාවේදි මෙන්ම කුඩා ජන කොටස් එක් වන අවස්ථාවන්හිදි  ආචාර්ය නාලක ගොඩහේවාට එරෙහිව කථා කරනු දැකිය හැකිය. එහිදී ඔවුන් පවසා සිටින්නේ උගත්කම තිබුණාට දේශපාලනය කිරීමට නොහැකි බවත්, ප්‍රසන්න රණතුංගට පිටින් කාටවත් යා නොහැකි බවත්ය.

මැතිවරණය ආසන්න වන විට මොවුන්ගේ සටන තවත් තීව්‍ර විය හැකිය.

මෙම තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් සීමා වුවක් නොවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වලද වියත් මඟ අපේක්ෂකයින් හා පැරණි දේශපාලඥයින් අතර ගැටුම් ඇති වීම ඉදිරියේදි ජනතාවට බලාගත හැකි වනු ඇත.

-ශානිකා-

Social Sharing
නවතම