කොවිඩ් නිසා අහිමි වන පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිත කිරීමට ත්‍රෛපාක්ෂික ගිවිසුම යළිත් ?

කොවිඩ් 19 පළමු ව්‍යසනය ආරම්භ වු පහුගිය මාර්තු මාසයේ සිටම මාස දෙකකට අධික කාලයක් රට වසා දැමීමට සිදු වුයේ එම ව්‍යසන තත්ත්වය පාලනය කිරීමටය. එහිදී රටේ සියලුම ආයතන, කර්මාන්තශාලා අඩපණ විය. මෙහිදී පෞද්ගලික අංශයේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති අතර එය වළකාලමින් කෝවිඩ් 19 ව්‍යසනය ආරම්භ අවධියේම  හාම්පුතුන්, පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යංශය ත්‍රෛපාක්ෂික ගිවිසුමක් අත්සන් කළහ.

එම ගිවිසුම තුළින් කර්මාන්ත ශාලා වැසී ගිය කාලය තුළ හාම්පුතුන් විසින් නිවෙස්වල සිටි සේවකයන්ට අඩ වැටුප් ගෙවන ලද, අතර පසුව සේවකයන්ට සිය රැකියා ලබාදීම සිදු කරන ලදි. මේ නිසා සේවකයන්ගේ රැකියා අහිමිවීම වැලැක්විණි. මෙම ගිවිසුම පසුගිය සැප්තැම්බර් 30 දින අවසන් විය.

එහෙත් වත්මන් කොවිඩ් පැතිරයාමේ තත්ත්වය තුළ එම ගිවිසුම නැවත සමාලෝචනය කළ යුතුව ඇති බවට මේ වන විට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා කියා සිටියි.

මේ වන විට මිනුවන්ගොඩ ඇතුලු  ප්‍රදේශ කිහිපයක කර්මාන්ත ශාලා කිහිපයක කෝවිඩ් 19 ව්‍යසනය පැතිර යාමත් සමග ඇති වී තිබෙන තත්ත්වය සමාලෝචනය කරමින් මෙම ගිවිසුම තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සාකච්ඡා කිරීමට පෙරේදා (07) දින කම්කරු අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී කම්කරු සමිති නියෝජිතයන් කියා සිටියේ, පවතින තත්වය තුළ මෙම ගිවිසුම තවදුරටත් සංචාරක ක්ෂේත්‍රයට දීර්ඝ කිරීම සාධාරණ බවත්, ඇගළුම් සහ අනෙකුත් ක්ෂේත්‍රයන්ට දීර්ඝ කිරීමට තමන් එකඟ නොවන බවය.

සංචාරක නොවන අනෙකුත් ක්ෂේත්‍රයන්ට ඒම සහනය දීර්ඝ කළ යුත්තේ ඒ ඒ කම්හල්, ආයතන, වැඩබිම්වල තිබෙන බිම් මට්ටමේ තත්වයන් පිළිබදව ඒ ඒ ආයතන ඉල්ලීමක් කරනු ලබන අවස්ථාවක දි පමණක්, එම ඉල්ලීමේ සදහන් කරුණු පිළිබද කම්කරු දෙපාර්තමේන්තුව විසින් පරික්ෂා කර බලා, එම ඉල්ලීම සධාරණ යැයි සෑහීමකට පත්විය හැකි නම් යම් සාධාරණයක් ඉටු කිරීමට තමන් එකඟ බව කම්කරු සමිති නියෝජිතයන් මෙහිදී කියා සිටියහ.

හාම්පුතුන්ට එවැනි ඉල්ලීම් ඇත් නම් ඒවා නොපමාව කම්කරු කොමසාරිස් වෙත ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා මෙහිදි පැවසීය. කම්කරු කොමසාරිස් සහ ආයෝජන මණ්ඩලයේ නියෝජිතයෙකු එම ඉල්ලීම් පරික්ෂා කර බලා තීරණයක් ලබාදිය යුතු බව ඇමතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ , සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ, ලෙස්ලි දේවේන්ද්‍ර, ඇන්ටන් මාකස් යන වෘත්තීය සමිති නියෝජිතයන් ද කම්කරු දෙපාර්තමේන්තුවේ නිළධාරින් ද සහභාගී වී ඇත.

-ශානිකා-

Social Sharing
නවතම