පාසල් රෙදි කොන්ත්‍රාත්තුව දේශීය ආයතන තුනකට

වසරකට වරක් පාසා පාසලෙන් ලැබෙන සුදු රෙදි පාර්සලය ගැන නොදන්නා කෙනෙකු නැත. නිදහස් අධ්‍යාපනයෙන් යැයි කියා පාසල් යාමට පසුව නොමිලේ ලැබෙන එකම දෙය වුයේ මේ පාසල් නිල ඇඳුමය.

1993 සිට ක්‍රියාත්මක වන පරිදි සිසුන් ලක්ෂ 42කට පමණ නොමිලේ නිළ  ඇඳුම් රෙදි ලබා දෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2300 කි.

අඟහිඟ  පවුල් වලට පාසලෙන් ලැබෙනා මේ නිළ  ඇඳුම් රෙද්ද මහා අනර්ඝ වස්තුවක් වූ බවනම් නොකියාම බැරිය.

2016 සිට පාසල් නිල ඇදුම් වෙනුවට මුදල් වවුචර් පත් ලබා දීමේ වැඩ පිළිවෙළක් ආරම්භ වුයේ මේ අතරය. ඒ  ප්‍රමිතියෙන් බාල රෙදි ලබාදීම හා ටෙන්ඩර් මගඩි හරහා අති විශාල මුදල් අවභාවිතා වීම වැලැක්වීමටය. නමුත් මුදල් අවභාවිතා වීමක් කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වවුචර්පත් වෙනුවෙන් වැඩිපුර මුදල් ගෙවීමට සිදු වු  බව හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වරෙක ප්‍රකාශ කර තිබුණි.

මේ අතර 2021 වසර සඳහා පාසල් දරුවන්ට වවුචර්පත් ක්‍රමය නවතා නැවත පාසල් නිල ඇඳුම් රෙද්ද ලබා දීමට මේ රජය තීරණය කර ඇත. ඒ අනුව දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් 2021 සඳහා අවැසි පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීමටත්, දැනට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමටත් සැප්තැම්බර් 28 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.

ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පාසල් නිල ඇඳුම් රෙදි අදාල පිරිවිතරයන්ට අනුකූලව නිෂ්පාදනය කර, කොටස් කර, අධ්‍යාපන කොට්ඨාශ කාර්යාල වෙත බෙදා හැරීම පිණිස වන කොන්ත්‍රාත්තුව වෑන්ගාර්ඩ් ඉන්ඩ්‍රස්ට්‍රීස් (පුද්ගලික ) සමාගම, දංකොටුව වීවින් මිල්ස්, ප්‍රභා ටෙක්ස් ඉන්ඩස්ට්‍රීස් සහ ක්‍රියේටිව් ටෙක්ස්ටයිල්ස් මිල්ස් (පුද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම