වසංගතය වාර්තාකරණ මාධ්‍යවේදීන්ට අනතුරු ඇඟවීමක්!

බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා සිය ගණනින් රෝගාතුර වන දෙවැනි වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබේ.

රට තුළ නැවත මතුවී ඇති කොරෝනා වසංගතයට මේ වනවිට ගොදුරුවී ඇති සංඛ්‍යාව හත්සියය ඉක්මවා ඇති බව රෝග ව්‍යාප්තිය මැඩලීම භාරව සිටින වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශයට පතත් කර තිබේ.

මේ වන විට කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ නවතම තත්වයන් පිළිබද ප්‍රවෘත්ති වාර්තාකරණයේදී, මාධ්‍යවේදීන් එම ආසාදිතයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ප්‍රතිකාර ලබන රෝහල්, නිරෝධායන මධ්‍යස්ථාන හා එම පුද්ගලයන්ගේ වාසස්ථාන ආදී ආශ්‍රීත පරිශ්‍රයන් පසුබිම් කරගනිමින් ප්‍රවෘත්ති වාර්තා කිරීමට කටයුතු කිරීම අන්තරාදායක බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

“මෙම තත්ත්වය තුළ මාධ්‍යවේදීන්ගේ හා ඒ මගින් අදාළ මාධ්‍ය ආයතනයන් හී සේවය කරන සෙසු කාර්යය මණ්ඩලයන්හීද සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව යම් අවදානමක් මතුවිය හැකිය,” යි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ නිසා සෑම විටම තම සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත්  සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ උපරිම ලෙස සහ අනිවාර්යෙන්ම අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත්  කොව්ඩ් 19 සම්බන්ධව වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට උපදෙස් හා නියෝග ලබා දෙන්නැයි රජයේ  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්,  ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.

“විශේෂයෙන්ම, අත්‍යාවශ්‍ය කරුණක් සදහා නොවේ නම් කොවිඩ් 19 වෛරසය ආසාදිත වුවකුගේ හෝ සැක කටයුතු තැනැත්තකුගේ ආශ්‍රිත පරිසරයකට පිවිසීම හැකිතාක් අවම කිරීමට කටයුතු කරන මෙන් අදාළ මාධ්‍යවේදීන්ට උපදෙස් ලබාදෙන්නේ නම් මැනවි. ”

වසංගතය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සදහා ජනමාධ්‍ය ආයතන විසින් ලබාදෙන දායකත්වය සම්බන්ධයෙන් සිය කෘතවේදිත්වය පළ කරන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකාව කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ උවදුරින් මුදවා ගැනීමට ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් මෙතෙක් ලබා දුන් වගකීම් සහගත නොමද දායකත්වය තව දුරටත් ලබා දෙනු ඇතැයි අපේක්ෂාව පල කරයි.

රජයේ ITN නාලිකාව විසින් දෙවැනි කෝවිඩ් රැල්ලේ පළමු ආසාදිතයන් ලෙස හඳුනාගත් පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් ද්වේශය උපදවන ආකාරයෙන් පලකොට තිබූ පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල හෙලා දැකීමට ලක් වීමත් සමග ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනය නිකුත් කර තිබේ.

වාර්තාකරණය ගැන දුන් මාර්ගෝපදේශ

කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සහ නිරෝධායනයට ලක් වන පුද්ගලයන්ගේ ජාතිය ඉස්මතු වන අයුරින් රූපවාහිනී නාලිකා  ප්‍රවෘත්ති පල කරන්නට පටන් ගැනීමත් සමග  කොවිඩ් 19 පිළිබඳ වාර්තාකරණයේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් නිර්දේශ කීපයක් දිවයිනේ ප්‍රධානතම සෞඛ්‍ය බලධාරියා විසින්  පසුගිය අප්‍රේල් මාසය මුලදී  හදුන්වා දී තිබුනි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගේ අත්සනින් යුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත එවකට යොමු කර තිබු  නිවේදනයක් මගින් ඉල්ලා තිබුනේ  නිරෝධායනයට ලක් කරන පුද්ගලයන්, රෝගීන් සහ මරණ වාර්තාකරණයේදී කිසිවිටකත් ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා හදුන්වා දී ඇති මාර්ගෝපදේශ පරිදි සෑම විටම කොවිඩ් 19 සම්බන්ධයෙන් වාර්තා කිරීම සඳහා සත්‍ය සහ තහවුරු කරන ලද මුලාශ්‍ර පමණක් භාවිත කළ යුතු අතර වෛරසය ආසාදිත පුද්ගලයන් “රෝගීන්” මිස අනෙක් අයට “රෝගය පතුරුවන පුද්ගලයන්” ලෙස හැදින්වීමෙන් වැළැකිය යුතුය.

අවදානමේ ප්‍රමාණය තාක්ෂණික සහ විද්‍යාත්මක කරුණු මත පමණක් පදනම් කරගෙන වාර්තාකරණයේ යෙදිය යුතු අතර විවිධ පුද්ගලයන්ගේ පෞද්ලගික මත සමාජ ගත කිරීමේන් වැළැකිය යුතුය.

නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් සහ රෝගීන්ගේ ඡායාරූප, වීඩියෝපට ඔවුන්ගේ අවසරයකින් තොරව ප්‍රදර්ශනය නොකළ යුතුය.

මිය ගිය අයගේ අවසන් කටයුතු පිළිබද සංවේදී ඡායාරූප හෝ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී එම දර්ශන බොඳ කොට භාවිතය වඩාත් යෝග්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා තිබුනි.

ජනතාව තුළ වෛරය ඇති වන ලෙස තොරතුරු වාර්තා කිරීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටින විශේෂඥ වෛද්‍යවරයා කොරෝනා වෛරස් තත්වය ජන මනසට ආතතිය සහ ඉච්ඡාභංගත්වය ඇති වන ලෙස නොව අනාගතය සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තු සහ එකිනෙකා අතර සහයෝගය ඇති වන ලෙස ප්‍රවෘත්ති සහ දැනුවත් කිරීම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටී.

කොරෝනා වසංගත තත්වයේදී එයට මුහුණ දීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙලට සියළුම මාධ්‍ය මගින් ලබා දෙන විශාල සහාය සඳහාද සිය ස්තුතිය පිරිනමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉහත සදහන් නිර්දේශයන්ගෙන් පරිබාහිරව වාර්තාකරණයේ යෙදීම තුලින් සිදුවන බරපතලම අගතිය ලෙස පෙන්වා දී ඇත්තේ රෝගය ආසාදිත පුද්ගලයන් කොන්වීමට ඇති බිය නිසා නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොගෙන සැඟවී සිටීමට ඉඩ ඇති බවයි.

Social Sharing
නවතම