බ්‍රැන්ඩික්ස් ලොක්කන්ගේ ටාගට් හා කොරෝනා අළුත් පොකුර

බාහිර සමාජයේ නිහඩව තිබු කොරෝනා වෛරසය යළි සක්‍රීය වුයේ ඉකුත් 04 දාය. ඒ දිවුලපිටියෙන් කාන්තාවක් හමුවීමත් සමඟය.

දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි 39 හැවිරිදි මෙම කාන්තාව මිනුවන්ගොඩ, යකහටුව පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ පරීක්ෂිකාවකි. මෙම ඇඟලුම්හලේ සේවක සේවිකාවන් 1400 ක් පමණ දෙනා සේවය කරයි. දිවයිනේ විවිධ ප්‍රදේශ වල පදිංචි අය කුලී කාමර වල ඇඟලුම්හල අවට නවාතැන් ගෙන සිටින අතර ඔවුන්ට ප්‍රවාහන පහසුකම් ආයතනය විසින් ලබා දෙනු ලබයි.

පහුගිය දින කිහිපය පුරා කොරෝනා ආසාදිත වු පළමු කාන්තාව උණ  තත්ත්වයෙන් පෙලී ඇති අතර ඇය සැප්තැම්බර් 28 දා ඩිස්පැන්සරියකින් බෙහෙත් ලබාගෙන වැඩට ගොස් ඇත. නමුත් උණ ගතිය උත්සන වීම නිසා ඇය ගම්පහ රෝහලට සැප්තැම්බර් 30 දා ඇතුලත්ව ඇත. ඉන් ප්‍රතිකාර ලබා ඔක්තෝම්බර් 02 දා රෝහලින් පිටත් වන අවස්ථාවේ අහඹු ලෙස PCR පරික්ෂාවකට යොමු කර ඇත. ගම්පහ රෝහලේ දිනකට අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයින් දස දෙනෙකු PCR පරික්ෂාවට යොමු කරන අතර එසේ අහඹු නියැදියකට අනුව මෙම කාන්තාවගෙන් PCR  සිදු කර ඇත.

එය සිදු කිරීමෙන් පසුව ඇය නිවසට ගොස් ඇති අතර පසුදා ඇයගේ ප්‍රතිඵලය පොසිටිව් වීම මත ගම්පහ රෝහල මේ බව අදාල බලධාරීන්ට දන්වා වහාම ඇයව සොයා ගොස් ඇයව අංගොඩ IDH රෝහල වෙත ගෙන ගොස් තිබුණි. ඒ  ඔක්තෝම්බර් 03 දාය.

සවස් වන විට ඇයව ඇසුරු කළ අයව සොයා ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබු අතර රජය කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වූ බව ප්‍රකාශ කර සිටියේ ඔක්තෝම්බර් 04 දාය. නමුත් කිසිම අවස්ථාවක ඇය ඇඟලුම් සේවිකාවක් බව ප්‍රකාශ කළ විනා ඇගේ ඇඟලුම් කම්හල කුමක්දැයි සවස් වනතුරුත් කීවේ නැත.

නමුත් කොරෝනා ආසාදිත ඇඟලුම් සේවිකාවක් වාර්තා වන බව ප්‍රකාශ වීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර සිටියේය.

එම නිල නිවේදනය මෙසේය.

“මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට කලින්ම හඳුනා ගැනේ.

බ්‍රැන්ඩික්ස් සමාගමේ මිනුවන්ගොඩ පිහිටි කර්මාන්තශාලාවේ සාමාජිකාවකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව එම සමාගම හඳුනාගෙන ඇත. බ්‍රැන්ඩික්ස් සමාගමේ සියලු මෙහෙයුම් අංශ තුළ දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඇතුළු අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ කඩිනම් ක්‍රියාමාර්ග සහ සහයෝගය හේතුවෙන් එම ආසාදන තත්ත්වය කලින් ම හඳුනාගෙන එම සාමාජිකාව වහාම ප්‍රතිකාර සඳහා IDH රෝහලට ඇතුළත් කර තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකි වී ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට අපි කටයුතු කරන්නෙමු. වෛරසය ව්‍යාප්ත වීම මුළුමනින්ම නවතා දැමීම සඳහා එම සාමාජිකාව සේවය කළ පරිශ්‍රය දැඩි විෂබීජහරණයකට ලක් කිරීම ඇතුළු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් මේවන විට ද ගෙන ඇත. එම රෝගියා සමග කටයුතු කළ එම පරිශ්‍රයේ තවත් සාමාජිකයන් 45 දෙනෙක් ද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ද වහාම නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන්ට එම වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කෙරේ.

මෙම අවස්ථාවේදී අදාළ බලධාරීන් ලබාදුන් කඩිනම් ප්‍රතිචාර සහ අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ඔවුන්ට අපගේ කෘතඥතාව පළකර සිටිමු. අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේත් ඔවුන්ගේ ප්‍රජාවගේත් සුරක්ෂිතතාව සඳහා අපගේ උපරිම ප්‍රමුඛතාව ලබාදී ඇති බැවින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අප විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආරක්ෂණ ක්‍රමවේද අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අපි කැපවී සිටිමු යන්නය.”

මේ නිවේදනයට අනුව කොරෝනා වැලඳුන බව හඳුනාගෙන ඇත්තේ බ්‍රැන්ඩික්ස් ආයතනයය. මොවුන් සෑම අතින්ම සෞඛ්‍යාරක්ෂිතව කටයුතු  කර ඇත. කාන්තාව IDH යවා ඇත්තේද මොවුන්ය.

නමුත් මොවුන් කිසිදු තැනක තම ආයතනයේ සේවක පිරිස අසනීප තත්ත්වයෙන් පෙළුන බව සඳහන් කර නැත. ඒමෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සකස් කර ඇත්තේද මෙම කොරෝනා කාන්තාව වාර්තා වීමෙන් පසු බව ආයතනය අසල බෝඩිම් කාමර පවත්වාගෙන යන දමයන්ති මහත්මිය පවසයි.

ඇය පවසන ආකාරයට උණ සෑදී ඇති ළමුන් ආයතනයේ ලොක්කන් විසින් කෝල් කර කර ගෙන්වා ගෙන ඇත. සේවක සේවිකාවන්ද අසනීප තබාගෙන ගොස් ඇත. ඒ ලොක්කන්ගෙන් බැනුම් ඇසීමට නොහැකි බැවිනි. ලොක්කන් උත්සහ කරන්නේ ඔවුන්ගේ ටාගට් ඒක පිරිමැසීමටය.

නමුත් අවසානයේ හොඳම තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය කොරෝනාවෙන් දිය වී යන්නට වුයේ කාගේ වරදකින්ද යන්නද අදටත් අභිරහසකි.

-ශානිකා-

Social Sharing
නවතම