උතුම් ගුරු දිනය කෙලෙසූ බදුල්ලේ දේශපාලන මැරයෝ!

ගුත්තිලයේ ගුත්තිලත්, ගුරු ගීතයේ දූශෙයින් වත්, මෙනෙහි කරමින් එවන් පරපුරක මහිමය ලොවට හඬගා කියන ජාත්‍යන්තර ගුරු දිනය දා මෙරට ජන සමාජයේ කන වැකුණේ අරවගේ උතුම් ගුණයෙන් පිරි මානවීය කතාවක් නොවේ. ලෝක ගුරුදිනය දා එහි ගුණය කෙලෙසා දැමූ නරුම කතාවකි. ඒ බදුල්ල ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට දේශපාලන මැරවරයින් දෙදෙනෙකුගේ පහර කෑමට සිදු වූ පුවතයි.

අපේ රටේ ගුරුවරයාට පහර දීමට ගුරුවරයා පාගා දමන්න හැමදාමත් පෙරමුණ ගත්තේ මේ රටේ අලුගුත්තේරු දේශපාලකයින් හා ඔවුන්ගේ හෙන්චයියන් බව ඈත ඉතිහාසයෙන් පමණක් නොව මෑත ඉතිහාසයෙන් ද ඕනෑ තරම් ශාක්ෂි තිබේ. බදුල්ලේ එවකට චණ්ඩිකම් පෑ අද ජනතා මනාපයෙන් පාර්ලිමේන්තු සැපත්ව සිටින චාමර සම්පත් දසනායක ඌව පළාත් සභා හිටපු මහ ඇමතිවරයා බදුල්ලේ පාසලක විදුහල්පතිනයක වූ රඝුනාත් භවානි නිවසටම ගෙන්වා දණගස්වා තැබූ පුවතක් අපගේ මතකයේ තිබේ. ඊට පෙර නවගත්තේගම තවත් එවැනිම අලුගුත්තේරු දේශපාලකයෙකු ගුරුවරියක දණගස්වා තිබුණු බවත් ඊට පෙර රාජ්‍ය සේවකයාට පහර දීම් ගස්වල බැද තැබීම් පිළිබදවත් අසා ඇත්තෙමු. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දෙන්නේත් රඝුනාත් භවානී දණ ගැස්සූ අලුගුත්තේරු දේශපාලකයාගේම ගෝලයන් දෙදෙනෙකි. ගුරා හිටගෙන කරන කොට ගෝලයන් දුව දුවා කරනවා කියන්නේ මේවාටය. භවානි දණ ගැස්වූ පූර්වාදර්ශය අද ඔහුගේ ම ගෝලයන් වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන් කුමාර මාපා බණ්ඩාර සහ ඌව පළාත් සභාවේ නිල ඡායාරූප ශිල්පියාවන සුසන්ත පද්මසිරි මාපා බණ්ඩාර අනුගමනය කරමින් සිටිති. මෙම පහර දීම සමස්ත ගුරු පරපුරටම හා විදුහල්පති පරපුරටම කළ නිග්‍රහයක් සේ මෙරට ගුරුසංගම් දැඩිව හා පිළිකුලෙන් යුතුව හෙලා දකිති.

මේ පිළිබදව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පහර හෙලා දකිමින් මෙසේ පැවසීය.

“චාමර සම්පත් ගේ ගෝලයෝ දෙන්නෙක් තමයි මේ පහර දීම සිදු කළේ. පාසල් නිවාඩු කාලය වුණත් අපි දැඩි පිළිකුලෙන් යුතුව මේ පහර දීම හෙලා දකිනවා විතරක් නෙමෙයි මීට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේ පූර්ණ සහය ලබා දෙනවා. මැරයෝ පාර්ලිමේන්තු යැව්වාම, මැරයන් ජනතා නියෝජිතයන් වුණාම මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි දේශපාලකයින් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලා අබමල් රේනුවක දෙයක්වත් දන්නේ නෑ.කිසිම අවබෝධයක් නැ.මේ රටේ ප්‍රාදේශීය දේශපාලකයින්ගෙන් සියයට 80ක් ඉතාම පහළ අධ්‍යාපනයක් තියෙන මැරයිඔන් දෙශපාලන හෙන්චයියන්, ජාවාරම්කරුවන් ඉන්නේ. ඒ අයගෙන් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන ජනතාවක් තමයි දැන් නිර්මාණය විලා තියෙන්නේ. ලෝක ගුරු දිනය උදාවන දා අහන්න ලැබුණු මේ පුවත ඉතාම අවාසනාවන්ත කණගා‍ටුදායක සිද්ධියක්. අපි මෙම පහරදීමට එරෙහිව අවශ්‍ය වුණොත් මහ පාරේ අරගලයකට යන්න සූදානම්.” මේ අතර පහර දීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනා අත් අඩංගුවට ගැනීම ප්‍රශංශනීය වුවත් ඊයේ (05) උදෑසන පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා රෝහල්ගත කළ රෝහලෙන් බලෙන් ටිකට් කපාගෙන පිටමං කිරීමට ද මේ මැරයින් ප්‍රයත්න දරා ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළේ ය. පහර කෑමට ලක් වූ ජයවර්ධන නම් විදුවල්පතිවරයා බාහුවෙහි අස්ථිය පැනීමේ අපහසුතාවකින් සිටින අතර එම බාහුවටම පහර දීම නිසා ස්නායුමය ආබාධය උග්‍ර වී ඇතැයි ද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මෙසේ කීය.

“අපි අනිවාර්ය ලෙස මේ පහර දීමට එරෙහි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ සදහා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යෑමටත් සූදානම්. මීට කලින්  මේ අත් අඩංගුවට ගත් පහර දීමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනාගේ දේශපාලන ගුරුවරයා වන චාමර සම්පත් දසනායකගේ ගෝලයෝ. මේ දෙන්නා මේ පහර දීම සිදු කර තිබෙන්නේ පළාත් සභාවට අයත් කැබ් රථයකින් ගිහිල්ලා. ප්‍රාදේශීය සභා දෙකකින් මේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සහභාගී වන දරුවන්ට කෑම දෙන්න සල්ලි අරගෙන තියෙනවා මේ චණ්ඩි දෙන්නා. ඒ සල්ලිවලින් කෑම නොදී විදුහල්පතිවරයාට බලකරලා සහභාගී වූ ළමයින්ට කෑම දෙන්න කියලා. විදුහල්පතිවරයා ට ප්‍රතිපාදන නෑ කිව්වාම මේ මැරයෝ පහර දීලා තියෙනවා. මීට කලින් චාමර සම්පත් හිටපු මහ ඇමතිවරයා බදුල්ලේ විදුහල්පතිනියක වූ රාඝවන් භවානි මහත්මිය ගෙදරටම ගෙන්නලා දණ ගැස්සුවා. ඒ පූර්වාදර්ශය තමයි මේ ගෝලයොත් කරන්නේ. මේ රටේ ගුරුවරයාට අත තිබ්බේ දේශපාලකයෝත් ඔවුන්ගේ මැරයෝත් පමණයි. අපි දැඩි පිළිකුලෙන් යුතුව මේ පහර දීම හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවට වගකීමක් තියෙනවා ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයක් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න විතරක් නෙමෙයි මේ මැරයන් එලවා දමන්න. අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිවරයාත් අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කියලා. ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා විසදා ගත යුත්තේ කෙසේ ද කියලා පැහැදිලිව දක්වලා තියෙනවා. මැර බලය, දේශපාලන බලපුලුවන්කාරකම ඉස්සරහට දාගෙන මේ රට පුරා ගුරු විදුහල්පතිවරුන්ට අඩංතේට්ටම් කිරීම් පහර දීම් රාශියක් වෙලා තියෙනවා. ගුරු විදුහල්පතිවරුන්ගේ වැරදිවලට විනයානුකූල ක්‍රියා මාර්ග ගන්න එක වෙනම වැඩක්. හැබැයි  කිසිම අධ්‍යාපනයක් නැති මේ අලුගුත්තේරු දේශපාලකයින්ගේ පහර කෑමට විදුහල්පතිවරුන් ගුරුවරුන් තව දුරටත් බිලි විය යුතු නෑ. අද උදේ අපට තොරතුරු ලැබුනා විදුහල්පතිවරයාගේ ටිකට් බලෙන් කපලා රෝහලෙන් පිට කරලා ඉක්මනින් ඇප ගන්න. මේ සදහා දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනෙන කරුණක්. විදුහල්පතිවරයාගේ එකගතාව නැතුව ටිකට් කපන්න හදලා තියෙනවා. අපි පාළකයන්ට කියන්නේ ගුරුවරයා  විදුහල්පතිවරයා කියන්නේ මේ සමාජය නිර්මාණය කරන අනාගත පරම්පරාව නිර්මාණය කරණ පිරිස. ඒ අයට අත තියන්න එපා. ගුරුවරුන්ගේ මේ ගැටලුවට අමතරව තිබෙන විශාල ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න කටයුතු කරනවා වෙනුවට මැර බලය දේශපාලන බලපුලුවන්කාරකම ඉස්සරහට දානවා නම් ඒක ට එරෙහිව අපි පෙළ ගැහෙනවා කිසිම භේදයකින් තොරව මු රටේම ගුරු විදුහල්පතිවරු මේ සදහා පෙල ගැසේනවා.”

කෙසේ වෙතත් ලොව පුරා ගුරුන් හද බැතින් සමරන වැදුම් පිදුම් කරන අදවන් දිනක සිදු වූ මෙම කලු පැල්ලම ඉතිහාසය යලි කියවන්නටත් අලුත් පියවරක් ඉදිරියට තබන්නටත් ශක්තිය සපයන්නක් බව ගුරු සංගම් නියෝජිතයෝ අවධාරණය කළ හ.

-ඊෂා බණ්ඩාර මුදීයන්සේ-

Social Sharing
නවතම