විදෙස්ගත ලාංකිකයින් 2600 කට වැඩි පිරිසකට කොවිඩ්

මාස දෙකකට පසු බාහිර සමාජයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තා වුයේ ඊයේ (04) දිනයේය. අද දිනයේ 69 කු හමු විය.

එතෙක් මෙරටින් හමු වුයේ විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන කොවිඩ් ආසාදිත වු ශ්‍රි ලාංකිකයින්ය.

මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන පිරී පවතින්නේද විදේශයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙනී. තවමත් ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වූ බොහෝ විදෙස්ගත ලාංකිකයින් සිටින අතර ඔවුන් මුහුණ දෙන ගැටළුද අප්‍රමාණය. මේ වනවිට කොවිඩ් ආසාදිතව ලාංකිකයින් 2600 ඉක්මවා විදේශයේ සිටිති.

විශේෂයෙන් ජෝර්දානයේ ඇඟලුම් කම්හල් වල ශ්‍රි ලාංකිකයින් 350 කු මේ වන විට කොවිඩ්  19 වෛරසය ආසාදනය වීමෙන් පීඩා විඳියි. ඉන් එක් පුද්ගලයෙකු මේ වන විට මිය ගොස් ඇත. එකම නේවාසිකාගාරයක නවාතැන්ගෙන සිටීම නිසා වෛරසය ව්‍යාප්ත වී ඇති අතර මේ වන විට ඔවුන් සියලු දෙනා මළ මුහුද වෙරළ තීරය ආසන්නයේ සැකසු විශේෂ වෛද්‍ය මධ්‍යස්ථානයක රඳවා ඇතැයිද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඔවුන්ට අවශ්‍ය කටයුතු ජොර්දාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සොයා බලනු ලබන බවද එම කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර කොවිඩ් 19 ව්‍යාප්තිය ආරම්භයේ සිටම මැද පෙරදිග සිට රටවල් රැසක සේවයේ නියුතුව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 63 කු මිය ගොස් ඇත.

ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ සෞදි ආරාබියේදීය.

මෙම මියගිය පිරිසට වන්දි ලබා දිමේ වැඩපිලිවෙල යටතේ ඔවුන්ගේ ළඟම ඥාතීන්ට රුපියල් ලක්ෂ පහ බැගින් ලබා දිමට නියමිතය.

-ශානිකා-

Social Sharing
නවතම