ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!

මුලූ ලොවම ලෝක ළමා දිනය සමරන ඔක්තෝම්බර් පළමු දිනට පහන් වන විට ගම්පොල පොලිසීය තුලින් නැගී ආයේ සිඟිත්තකුගේ අදෝනාවකි. දැඩි වෙහෙසත්, කුසගින්නත් නිසා ඔහු එක දිගට විලාප දෙන්නට වුයේ රාත‍්‍රිය පුරා පැවති නිහඩ බව දෙපලූ කරවමිනි. ඔහුව තුරුලූ කරන් සිටි පිරිමි පාර්ශවයට දරුවා මෙල්ල කර ගැනීමේ හැකියාවක් තිබුණේ නැත. වයස අවුරුදු තුන හමාරක පමණ දරුවෙකු තවත් පිරිමි අයෙකු කර පින්නාගෙනය. ඔහු ද සිටියේ අඩ නින්දේය.

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!

කෙසේ නමුදු මාස නවයක් පමණ වයසැති සිඟිත්තාගේ කෑ ගෑමට සිර මැදිරිය තුළ සිටි ඔහුගේ මවගේ දෙතනේ කිරි ගලන්නට විය. එහෙත් ඔවුන්ගේ දුප්පත්කමට කරන්නට දෙයක් තිබුණේ නැත. සිර මැදිරියේ සිටි දරුවන් මුදා හැරුණේ රාත‍්‍රි 11.00 ට පමණය. ඉන් අනතුරුව පොලිසිය පිරිමි පුද්ගලයින්ට කීවේ ගෑණු ටික ඕනේ නම් ගෙවල් ටික කඩපල්ලා යනුවෙනි. ඒ අනුව ඔවුන් ගෙවල් තුන කඩා එනවිට මැදියම් රැය පසුවී තිබුණි. කාන්තාවන් මුදා හැරුණේ රාත‍්‍රි 12.00 ට පමණය.

නමුත් මෙහිදි කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිරි මැදිරියේ තබාගෙන සෙසු අය එළියට දමා තිබු අතර ඉන් පිටට ආවා කියා මොවුන්ට යාමට තැනකුත් තිබුණේද නැත.

අද අප මේ කියන්නට යන්නේ මුවින් කිරි සුවදවත් නොගිය කිරි සප්පයෙකුද ඇතුලූ අසරණ පවුල් තුනක පුද්ගලයින් 15 කු අත්අඩංගුවට ගෙන ඉන් පස් දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ කථාවය.

ලෝක ළමා දිනයේ ගම්පොල පොලීසිය කිරි දරුවන් අත්අඩංගුවට ගනී!

ගම්පොල, බෝතලාපිටිය ප‍්‍රදේශයේ ඇති රජයේ ඉඩමක අනවසරයෙන් මෙම පවුල් 03 කුඩා නිවාස සාදාගෙන පදිංචිව ඇත්තේ මීට දින තුනකට ඉහතදිය. මෙම පවුල් තුනට ළමයි නව දෙනෙකු අයත්ය. මෙය ඇල රක්ෂිතයක් වන අතර විශාල ඇල මාර්ගයක් මහවැලි ගඟ දක්වා වැටී ඇත. උඩරට දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී පවා මෙම ඇල මාර්ගය අවහිර නොකර එය මහවැලි ගඟට ගලා යාමට පුළුල් විවරයක් සාදා ඇත.

නමුත් ගම්පොල නගර සභා බල සීමාවේ ඇති මෙම ඉඩම පහුගිය නගර සභා පාලන කාලයේදි මෙම ඇල පස් වසා පිරවීමට එක්තරා ජාවාරම්කරුවන් පිරිසකට ලබා දී ඇතැයි පැවසේ. ඒ අනුව ඔවුන් අඩි 15 ක් පමණ ගැඹුර ඇති ඇලට උඩින් කොන්ක‍්‍රීට් ආස්ථාවරයක් දමා ඊට උඩින් පස් දමා මීටර් 200 කට අධික භූමි ප‍්‍රමාණයක් අල්ලාගෙන ඇති බව ගම්පොල නාගරික මන්ත‍්‍රි සමීර චන්ද්‍රසිරි මහතා පවසයි. මෙහි පර්චස් බාගය රුපියල් ලක්ෂ පහට විකුණු බවටද ඔහු චෝදනා කර සිටියි. එවන් පසුබිමක මෙම පිරිස ද කල්පනා කර ඇත්තේ තාවකාලිකව මෙහි රැදි සිටිමටය.

ජාවාරම්කරුවන් ගැන අදාල බලධාරීන්ට පැවසුවද ඔවුන් නීතිය ක‍්‍රියාත්මක නොකළ බවත් මේ අතර ඔවුන් විසින් මෙම පිරිස රජයේ ඉඩමක සිටිනා බවට පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව නම් පොලිසිය ඉකුත් 30 සවස 5.00 ට පමණ පැමිණ 15 නාවම පොලිසියට ගෙන ගොස් කූඩුවට දැමු බවද ප‍්‍රදේශවාසීන් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් ගම්පොල පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් වික‍්‍රමරත්න මහතාගෙන් විමසු විට ඔහු කියා සිටින්නේ රජයේ දේපලකට අයුතු ඇතුල් වීම මත අත්අඩංගුවට ගත් බවය. කුඩා දරුවන් අත්අඩංගුවට ගැනීම ගැන විමසීමේදි පැවසුයේ එහි පැවති අනාරක්ෂිත තත්ත්වය මත ඔවුන්ද රැගෙන ආ බවය.

මෙම ඉඩම සම්බන්ධයෙන් උඩපළාත ප‍්‍රාදේශිය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගෙන් විමසා සිටියදි ඇය පැවසුයේ රජයට අයත් කොටස හදුනා ගැනීම සදහා මැනුම් කටයුතු සිදු කරමින් පවතින බවය.

අත්අඩංගුවට ගෙන සිටි පස් දෙනාගෙන් එක් අයෙකුට මුදලින් රුපියල් 5000 ක්ද රුපියල් ලක්ෂයක ශරිර ඇපයක්ද බැගින් පස් දෙනා නිදහස් කර තිබුණි. දැන් ඔවුන් තැවෙනා ප‍්‍රශ්නය වන්නේ හිසට සෙවනක්ය.

මහනුවර දිස්ත‍්‍රක්කයේ අනවසර ඉදිකිරිම් ගැන මීට පෙර සොයා නොබැලීම නිසා අද ජිවිත තුනක් අහිමිව ගොස් ඇත. එහෙයින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමනි, පොලිස්පතිතුමනි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැත. මොවුන්ට සිදු වු අසාධාරණය ගැන වහාම පියවරක් ගත යුතුව ඇත.

ශානිකා මාධවී
එස්.ඩී රාජනායක

Social Sharing
නවතම විශේෂාංග