විගණන කොමිසම අහෝසිවීමක් තුළ විගණනය කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයනේම සම්මත වන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

ඉකුත් මහ මැතිවරණයට තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී  ඒ ඒ පක්ෂ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමට බැදී සිටින බව මහනුවර ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන කේන්ද්‍රෙය්දී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මහනුවර විද්වත් වෘත්තිකයන්ගේ සංගමය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

විසිවන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම සම්මත වන බවත් ඊට එරෙහිව

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබෙන පෙත්සම් සම්බන්ධ මතය ඉදිරි සති දෙකක පමණ කාලයකදී ප්‍රකාශවනු ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිභවා ගිය කිසිදු කරුණක් හෝ ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු කරුණක් විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නොමැති බව කී රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට එහි ඇති කරුණු තුනක් පිළිබඳව අවධානය යොමුවී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ධූරකාලය වසර පහක්වීම, ජනාධිපතිවරයාට දෙවතාවකට වඩා ජනාධිපතිධූරය හෙබවීමට නොහැකි වීම සිදුවන අතර තොරතුරු දැනගැනීමේ පනත  කිසිදු වෙනසක් නොවී ඒ අයුරින්ම පවතිනවා.

විගණන කොමිෂම අහෝසිවීම තුළින් රාජ්‍ය ආයතන විගණනය කිරීම නැති වන්නේ නැහැ. රජයේ සෑම ආයතනයක්ම විගණනය වෙනවා. ඒ සම්බන්ධයෙන් විගණන පනතක් පවා තිබෙනවා. විගණන කොමිෂම සහ විගණනය කිරීම කියන්නේ කාරණා දෙකක්. විගණන කොමිසම අහෝසිවීමක් තුළ විගණනය කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ. විගණන කොමිසමක් නොමැති කාලයේදී ද  රාජ්‍ය ආයතන විගණනය කළා. කෝප් කමිටුවට කරුණු වාර්තා වුණා. පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ඒ අයරින්ම තිබුණා.

විගණන කොමිෂම, කෝප් කමිටුව ආදිය  පැවැතුණත් මෙරට විශාලතම මුදල් වංචාව වූ මහ බැංකු බැදුම්කර වංචාව අනාවරණය වූයේ ඒ කිසිවකින් නොව ජනාධිපති විශේෂ කොමිෂන් සභාවකින්  යැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Social Sharing
නවතම