ශක්තික ගෙන් ඉල්ලීමක්!

මානව හිමිකම් රැකීම අරමුණු කොටගත් පනතක්  නීතිපති දෙපාර්තමේන්තුව විසින් අහිතකර  ලෙස යොදා  ගතහොත්  තමන්ට වසර 10 ක කාලයක් සිරගත වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙන සම්මානලාභී ලේඛක ශක්තික සත්කුමාර එම අනතුරින් තමන් මුදවා ගැනීම සදහා සක්‍රීයව මැදිහත් වන ලෙස  සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ලක් වාසීන්ගෙන් ඉල්ලා තිබේ.

“එමෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව ICCPR යටතේ චෝදනා ගොනු කළ හොත් වසර 10 ක කාලයක් සිරගත වීමේ අවදානමක්ද මා ඉදිරිපිට තිබේ.”

“අර්ධ” නමින් ලියා ප්‍රකාශයට පත් කළ කෙටිකතාවක් හේතුවෙන් මාස හතරකට වැඩි  කාලයක් බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටින ලේඛක ශක්තික සත්කුමාර එම ඉල්ලීම සිදු කර ඇත්තේ “සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස උදෙසා වසර එක හමාරක කාලයක් මා සමග අත්වැල් බැදගෙන සිටීම සම්බන්ධව ස්තුතිය ප්‍රකාශ කිරීම සහ ඉදිරි නීතිමය කටයුතු පිළිබදව දැනුවත් කිරීම” ශිර්ෂය පෙරටු කරගනිමින් මාධ්‍ය ආයතන ප්‍රමුඛ ප්‍රකාශනයේ නිදහස  අගයන ජනතාව වෙත ලිපියක් යොමු කරමිනි.

“අර්ධ” නමින් අන්තර්ජාලයේ කෙටිකතාවක් පළකිරීමෙන් බුද්ධාගමට අපහාස කළ බවට චෝදනා නගා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ( ICCPR ) යටතේ  ලේඛක ශක්තික සත්කුමාර 2019 වසරේ අප්‍රේල් 1 දින රක්ෂිත බන්ධනාගාරගත කළ අතර  දින 130 ක කාලයක් බන්ධනාගාර ගතව සිටීමෙන් පසු ඔහුට  ඇප මත නිදහස හිමි වූයේ 2019 අගෝස්තු 08 දිනයි.

පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අසන නඩුව 2021 පෙබරවාරි මස 9 වන අගහරුවාදා උදෑසන නමයටත් ඔහු විසින් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පිළිබද පෙත්සම් විභාගය 2021 මාර්තු 24 වන බදාදා පෙරවරු නමයටත් විභාගයට ගැනීමට නියමිත බව දැනුම් දෙන ලේඛක ශක්තික සත්කුමාර එම නඩු විභාග වලදී නිරීක්ෂකයකු ලෙස පැමිණෙන්නැයි  සිතීමේ සහ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින සියලු  ලක් වාසීන්ගෙන් ඉල්ලා සිටී.

බන්ධනාගාර ගත වන විට සංවර්ධන නිලධාරියකු ලෙස රාජ්‍ය සේවයේ කටයුතු කළ ශක්තික සත්කුමාර නැවත රාජ්‍ය සේවයේ පිහිටුවා ඇත්තේ 2019 දෙසැම්බර් 2 දිනයි.

සිය ලිපිය මගින් තමන් මේ වන විට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු වල නිරත වන බව දැනුම් දෙන ශක්තික සත්කුමාර ගෙවී  ගිය වසර තුළ තමා මුහුණ දුන් ඉතා කටුක අමිහිරි අත්දැකීමේදී ඔහුට සහ ඔහුගේ පවුලට ශක්තියක් වු සියලු දෙනාය ස්තුතිය  පළ කර තිබේ.

එම ලිපියේ වැඩි දුරටත් සදහන් පරිදි ශක්තික සත්කුමාරට සති දෙකකට වරක් ඉරුදින උදේ නමයත් දොළහත් අතර  පොල්ගහවෙල පොලීසියේ පෙනිය සිටිය යුතු ඇප කොන්දේසියකට යටත් කර ඇත.

එවැනි තත්වයක් මත තමන් තවමත් ලබා ඇත්තේ “අර්ධ”  නිදහසක් බව ලේඛක ශක්තික සත්කුමාර පෙන්වා දෙයි.

Social Sharing
නවතම