පොලීසියේ භාගයක්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට!

පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශය පැසසිය යුත්තකි. පොලිස් නිලධාරී තනතුර නීතියේ ආධිපත්‍ය හා බැඳි පවතින්නකි. ඔහුගේ නිල ඇඳුමේ ගරුත්වයක් ඇත. නමුත් ඔවුන් ප්‍රභූ ආරක්ෂක අංශයට අනියුක්ත කළ විට ඇතැම් නිලධාරීන්ගේ ඉරණඹ වෙනස් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා ප්‍රබල දේශපාලන චරිතයක් තම  ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් ලවා නිවසේ වළං සෝදවා ගත් අවස්ථා ද අපට අමතක කළ නොහැකිය. මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට ලබා දි ඇති පොලිස් ආරක්ෂාව ඔහුගේ මුලු ඥාති සනුහරේටම ලබා ගනිමින් සියලු ආවතේව කිරිමට සිදුවු අවස්ථා, සිදු වෙන අවස්ථා තවමත් ඇත.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ දින බුද්ධික පතිරණ මහතා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ චෝදනාත්මකවය. එහිදි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ පොලිස් නිලධාරින් සිටින්නේ පොලිස් රාජකාරි කිරිමට බවත් දැනට අසුපන්දහසක් සිටින අතර ඉන් තිස් අට දහසක්ම යොදවා ඇත්තේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂක කටයුතු වෙනුවෙන් බවද කියා සිටියේය.

අද දිවයිනේ පොලිසි පුරා පොලිස් නිලධාරීන් හිඟය. පොලිසියකට ගියවිට පැමිණිල්ලකි ලියා ගැනිමට වරුවක් සිටිමට සිදු වේ. ඒ නිලධාරින් නොමැති නිසාය. පැමිණිලි විභාග කිරිමට ගිය විට එහි සිටින නිලධාරින් දැඩි මානසික පීඩනයට ලක් වේ. ඒ සියල්ල තනිව ඔවුන්ට කර ගැනිමට නොහැකි නිසාය. මෙවන් පසුබිමක මන්ත්‍රිවරු ඔවුන්ගේ ආරක්ෂාවට කියා තවත් පොලිස් නිලධාරින් ඉල්ලා සිටින්නේ ඔවුන් මහජනතාව පීඩාවට පත් කර නොවේද?

-ශානිකා-

Social Sharing
නවතම