අශ්ලීල ප්‍රකාශන තහනම් කිරීමේ කෙටුම්පතක්!

රියැලිටි වැඩසටහනක පසුබිම්තල නිර්මාණ ශිල්පියෙකු  එහි පැමිණෙන කුඩා දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඔහු දරුවන් අපයොජනය කර ඒවා වීඩියෝ කර ගබඩා කර තිබු හෙයින් මොහු මෙම වීඩියෝ විදේශයට විකිණීමට තබාගෙන සිටියාද යන්න පොලීසියට එවකට සැක මතු වී තිබුණි.

ඔහු පමණක් නොව විවිධ පුද්ගලයින් කුඩා දරුවන් ඉතා සුක්ෂම අයුරින් අශ්ලීල ප්‍රකාශන සඳහා යොදා ගන්නා අවස්ථා දැන් ඉහළ යමින් පවතින බව නිරීක්ෂනය වන්නකි. විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිතව මෙය සිදු වේ.

ඇතැම් විට ටොපියකට, චොකලට් එකකට කුඩා දරුවන් නතු කර ගන්නා මෙම පුද්ගලයින් ඉන් උපයා ගන්නා ආදායම විශාලය.

දිගින් දිගටම කුඩා දරුවන් අශ්ලීල ප්‍රකාශන වලට යොදා ගැනීම, තොරතුරු තාක්ෂණය හා වෙනත් මාධ්‍යයන් ඔස්සේ පල කිරිම මෑත කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව රජයට නිරීක්ෂණය වි ඇත. එවැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරිමට අදාල විධි විධාන, දණ්ඩ නීති සංග්‍රහයේ සහ අශ්ලීල ප්‍රකාශන ආඥාපනතේ සඳහන් වන නමුත් වර්තමාන තත්ත්වයන්ට එකී විධිවිධාන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇතැයිද රජය කියා සිටියි.

ඒ අනුව එයට පිලියමක් වශයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර ඒකකය විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත අලුතින් පනතක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඇතුලත් ලේඛනයක් පිලියෙල කර ඇති අතර එකී ලේඛනය මත පදනම්ව නව පනත් කෙටුම්පතක් පිලියෙල කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට අධිකරණ අමාත්‍ය අලී සබ්රි මහතා කැබිනෙට් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව ඇත.

-ශානිකා-

Social Sharing
නවතම