20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට!

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු ඕනෑම පුරවැසියෙකුට දින 7ක් ඇතුළත ඊට එරෙහිව පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාව හිමිවනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කිරීම මෙහි අරමුණයි. එලෙස අභියෝග නොකරන්නේ නම් විසි වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමේ විවාදයට ගත හැකියි. එහෙත් අදාළ කාලය තුළ විසිවන සංශෝධනය අභියෝගයට ලක්කරන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21 ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතුයි. අදාළ කාල සීමාව තුළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවන බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසන්නේ. දින විසි එකක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනක ලබා දෙන්නේ නම් ඉන් පසුව දෙවන වර කියවීමේ විවාදය සඳහා එය ගත හැකියි.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති. එහිදී විසිවන සංශෝධන පනත් කෙටුම්පත 2/3 ක බහුතරයකින් සම්මත විය යුතුයි. ඉන්පසු කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතේ සියලුම වගන්නි එකිනෙක සලකා බලන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමට ද එහිදී අවස්ථාව හිමිවනවා. අනතුරුව තුන්වන වර කියවීමේ විවාදය අවසානයේද ඡන්ද විමසීමක් පැවැත්වෙනවා. ඊට ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය යුතුයි. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබුව විටයි එය නීතියක් බවට පත්වන්නේ.

Social Sharing
නවතම