ලාංකික විදෙස්ගත ශ්‍රමිකයින් හට ලබාදුන් සහනයට කුමක් වේද?

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින විදෙස්ගත  ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙන බව රජය ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව සැප්තැම්බර් 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් චක්‍රලේඛනයක් මගින් මේ බව විදේශ රැකියා නියෝජිතයින් වෙත දන්වා තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශ රටවලදී රැකියා අහිමිව, රැකියා ගිවිසුම් කාලය අවසන්ව ලංකාවට නැවත පැමිණීමට නොහැකිව සිරවී සිටින ශ්‍රමිකයින්ට එම රටේ වෙනත් රැකියාවක් සිදුකිරීමට අවශ්‍ය විධිමත් අනුමැතිය ලබාදීමට පහසුකම් මෙමගින් සලසා තිබේ. මේ සඳහා අවශ්‍ය අනුමැතිය හා ආරක්ෂිත මුද්දරය ගමන් බලපත්‍රයට ලබාදීමේ කටයුතු, අදාල ශ්‍රමිකයා සිටින රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශය මගින් ලබාගත හැකිය. අවශ්‍ය ලියවිලි මෙරට සිටින රැකියා නියෝජිතයින් මගින් ශ්‍රමිකයා සේවය කිරීමට බලාපොරොත්තු වන ස්ථානයේ විදේශ නියෝජිතයින් වෙත යොමු කිරීමට කටයුතු සිදුකිරීමෙන් අනතුරුව ඉහත පහසුකම ලබාගත හැකිය. මෙරට විදේශ රැකියා නියෝජිතයින් හරහා අදාල රටේ රැකියා නියෝජිතයා වෙත අදාල ලියවිලි ලබාදීමට අවශ්‍ය පහසුකම්, මෙරට රැකියා නියෝජිතයාටද මෙමගින් ලැබේ.

රැකියා නියෝජිතයා වෙත රැකියා ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ කිසිඳු වෙනසක් මෙමගින් සිදුනොවන අතර, නව රැකියා සඳහා එරට දී ලියාපදිංචි වීමේ දී, පවුල් පසුබිම් වාර්තාවද (ගෘහ සේවයට) අවශ්‍ය නොවේ. එසේම අවසන් අනුමැතීන් ලබාදීමේ අනෙකුත් සාමාන්‍ය නීති – රීතිවල කිසිඳු වෙනසක් මෙමගින් සිදුකර නැත.

මේ අතර පහුගියදා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වුයේ ඩුබයා රාජ්‍යයේ අතරමංව සිටින ශ්‍රි ලාංකිකයින් පිරිසක් ගැන තොරතුරුය. රැකියා ආයතන වලින් ඉවත් කරන ලද 150 කට අධික පිරිසක් ඩුබායි ඒම්බසිය ඉදිරිපිට පැමිණ අන්තර්ජාලය ඔස්සේ ඔවුන් කියා සිටියේ ඔවුනගේ වීසා කාලාය ඉක්ම ගොස් ඇති බවත් දැන් දඩ කාලය පටන් ගෙන ඇති බවත් මේ වන විට ඔවුන් මහ පාරේ රැඳි සිටින බවත්ය. ඔවුන්ට එරට තානාපති කාර්යාලයෙන් කිසිදු හව්හරක් නොලැබෙන බවත්ය. ඔවුන් නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි වී සිටියද ලංකාවට යන්නේ වෙනත් පුද්ගලයින් බවත් මෙහි යම් කිසි දෝෂසහගත බවක් ඇතැයිද ඒම අතරමංවු පිරිස වැඩිදුරටත් කියා තිබුණි.

-ශානිකා-

Social Sharing
නවතම