කොවිඩ් මාරාන්තික අවදානම දුම්පානය කරන්නන්ට සියයට තිහකින් වැඩි වේ.

කොවිඩ් 19 වසංගතය ඔක්තෝම්බර් – නොවැම්බර් යන මාස වලදී යළි උත්සන විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ පහුගිය සතියේය. කොවිඩ් 19 වසංගතය වෙනත් රටවල දෙවන, තෙවන රැළි ලෙස යළි ව්‍යාප්ත වන විට අපේ රටේ තවමත් එය එක මට්ටටමකින් පාලනය කර ගෙන ඇත.

ඊයේ (20) වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් සංඛ්‍යාව 3283 කි. ඉන් මේ වන විට රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 182 කි. සැක සහිත වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටින සංඛ්‍යාව 33 ක් වන අතර රෝගය සුව වී රෝහලෙන් පිටව ගොස් ඇති සංඛ්‍යාව 3088 කි. මේ වන විට මරණයට පත්ව ඇති සංඛ්‍යාව 13 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය කර ඇති අනතුරු හැඟවීමද අපට අත්හැරීමට නොහැකිය. මේ වන විට කොවිඩ් 19 රෝගය ව්‍යාප්තිය පිලිබඳ සොයාගෙන ඇති නවතම අනාවරණය වන්නේ දුම්පානය කරන්නන්ට මෙහි මාරාන්තික අවදානම සියයට තිහකින් වැඩි බවය.

දුම් පානය කරන්නන්ට හා ඔවුන් අවට සිටින්නන්ට කොවිඩ් 19 නිසා ඇති වන හානිය ඉතා ප්‍රබල බව චීනයේ සිදුකල පර්යේෂනයකින් අනාවරණය වී ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.

මෙය සුලු කොට තැකිය හැකි කරුණක් නොවන බවත් වහාම මේ පිලිබඳ සියලු දෙනාගේම දැඩිලෙස අවධානය යොමු කළ යුතුව ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

-ශානිකා-

Social Sharing
නවතම