“තේ කහට” කඳුකරයෙන් කොළඹට

සංචාරකයන් අද්දන, තේ නිල්ල යට වහං කෙරුනු,  කඳුකර දෙමළ ජනයාගේ කහට ගැහුණු  ජීවිත  සම්බන්ධයෙන්,  එම ප්‍රජාවේම  තරුණ තරුණියන් ලබා ගත් ඡායාරූප  ඇතුළත් ප්‍රදර්ශනයක් අගනගරයේදී  පැවැත්වීමට  කටයුතු සංවිධානය කර තිබේ.

“තේ කහට” ලෙස නම් කර ඇති ඡායාරූප ප්‍රදර්ශනය  සැප්තැම්බර් මස 26 සහ 27   දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී උදෑසන 10.00 සිට හවස 06.00 දක්වා    පැවැත්වෙන බව සංවිධායකයෝ පවසති.

වතු හතරක් ආශ්‍රයෙන් තෝරා ගත්  තරුණ තරුණියන් 40 දෙනකුට  ඡායාරූපකරණය, කලාව හා  සමාජ සවිඥානිකත්ව පිළිබදව ලබා දුන් පුහුණුවකින් පසුව  ඔවුන්ගේ කතාව  ඔවුන් විසින්ම  කැමරා කාචයට හසුකරගත්  අවස්ථා  හතලිස් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් අතුරින් තෝරාගත් ඡායාරූප 100 ක් මෙලෙස ප්‍රදර්ශනය කෙරේ.

නුවරඑළියේ ලොගි සහ  හොලිරූඩ් වතු වලිනුත් බදුල්ලේ ඌව හයිලන්ඩ් සහ ඇතැම්පිටිය වතුයාය වලිනුත් මෙම තරුණ තරුණියන් 40 දෙනා තෝරාගන තිබේ.

කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන සමාජ කතිකාවක් ඇති කිරීම මෙම ප්‍රදර්ශනයේ අපේක්ෂාව බව පවසන සංවිධාකයෝ වැඩි දුරටත් සදහන් කරන්නේ  ප්‍රදර්ශන පැවැත්වෙන සෑම දිනකම සවස 4.00ට මෙම ඡායාරූප ඔස්සේ කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන යම් සංවාදයක් කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

මෙම ප්‍රදර්ශනය  වසරකට  වැඩි කාලයක්, කණ්ඩායම් කීපයක් එකතුව සිදු කළ  සාමූහික වැඩක් බව ඔවුහු වැඩි දුරටත් පවසති.

කඳුකර තරුණ තරුණියන් සහ  කඳුකර ප්‍රජාව  ප්‍රමුඛ දායකත්වය ලබා දුන් මෙම වැඩ පිළිවෙලට  තාක්ෂණික දායකත්වය ලබා දී ඇත්තේ  , giz ආයතනය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, හා  ඌව ශක්ති ආයතනයි.

ඡායාරූපකරණයට ආධුනික තරුණ තරුණියන් සමඟ එක් වී ඡායාරූපකරණය සම්බන්ධයෙන් න්‍යාත්මක සහ  ප්‍රායෝගික අවබෝධ ලබා දී ඇත්තේ  අජිත් සෙනෙවිරත්න සහ නදිෂ්ක රණසිංහ යන  ඡායාරූප ශිල්පීන් දෙදෙනායි.

රස තේ කහට කෝප්පයට යට වී  ගිය කඳුකර දෙමළ ජනයාගේ  කතාව බැලිමට, ඒ ඔස්සේ සමාජ කතිකාවක් ගොඩ නැගීමට ඉහත දිනවලදී සම්බන්ධ වන ලෙස  සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ළහිරු කිතලගම (0715468431) ඉල්ලා සිටී.

Social Sharing
නවතම විශේෂාංග