වැටුප් ප්‍රතිශෝධනය සම්බන්ධයෙන් ඇමතිගෙන් කොළ එළියක්!

වසර තුනෙන් තුනට වැටුප් ප්‍රතිශෝධනයට ලක් වන ලංකා විදුලි සේවකයින් සම්බන්ධයෙන් ලංකා විදුලි සේවක සංගමය විසින් විදුලිබල අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ කරුණු වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමය ප්‍රකාශ කර සිටියි.

මොවුන්ට අවසන් වරට වැටුප් ප්‍රතිශෝධනයට ලක්ව ඇත්තේ 2018 වසරේදීය. නැවත වැටුප් ප්‍රතිශෝධනය වීමට ඇත්තේ 2021 ජනවාරි මාසයේදිය. එය වසර තුනක් ඉදිරියට බලපැවැත්වේ. මේ සඳහා සේවකයින්, වෘත්තිය සමිති සහ අදාල බලධාරින් අතර සුහද කථාබහකින් මෙම ගැටලු විසඳා ගත යුතුව තිබුණත් පහුගිය අවස්ථා වල එසේ නොවුනු බවත් සිදුවුයේ ඔවුන්ව මහපාරට ඇද දමා වැටුප් ප්‍රතිශෝධනය වීම පමණක් බවද ලංකා විදුලි සේවක සංගමය පහුගිය දිනෙක විදුලිබල අමාත්‍යවරයා වෙත ලිපියකින් දන්වා තිබුණි. එම ලිපියෙන් වැඩිදුරටත් කියා තිබුණේ මෙවර වැටුප් ප්‍රතිශෝධනයට පෙර සාකච්ඡා කිරිමට ලංකා විදුලි සේවක සංගමයට අවස්ථාවක් ලබා දෙන ලෙසය.

ඒ අනුව අමාත්‍යවරයා ඊයේ (17) දින අමාත්‍යාංශයේදි ලංකා විදුලි සේවක සංගමය හමු වී ඇත.

එහිදි ලංකා විදුලි සේවක සංගමය ඉදිරිපත් කළ 2021 නියමිත වැටුප් වැඩිවීමට අධිකරණය බාධාවක් කර ගත නොකර යුතු බව, 2021 ජනවාරි වැටුපට එය ප්‍රමාද නොකර ලබා දීමට, මේ සඳහා හැකි ඉක්මනින්ම අදාල සියලුම බලධාරින් එකම මේසයකට ගෙනවිත් තිබෙන ගැටලු නිරාකරණය කිරිමට යන කරුණුද එසේම මෑන් පවර් සේවකයින් ස්ථිර කිරිම, සුදුසුකම් තිබෙන වයස අවුරුදු 35 ට වැඩි අය ස්ථිර කිරීමේ ගැටලුව, ජනන ක්ෂේත්‍රය තුල නඩත්තු කටයුතු වල පවතින අඩුපාඩු හා නව බලාගාර ඉදි නොකිරීමේ ගැටලුව, ලංකා විදුලිබල මණ්ඩලය තුල විවිධ සේවාවන් කොන්ත්‍රාත් දීම හරහා ආයතනයට වන අගතිය යන කරුණු සම්බන්ධයෙන්ද මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වු බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කර සිටියි.

Social Sharing
නවතම