මොණරු මෙන් පාට නැති සිරිගල – මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාව

ශ්‍රී ලංකා සිතියමේ පහළින්ම පිහිටා තිබෙන මොණරාගල දිස්ත්‍රික්කය ගැන මුලු රටේම ජනතාව දනිති. නමුත් එහි ඇති සිරිගල කන්දේ – මොණරකැලේ වත්ත මේ රටේ ජනතාව හඳුනන්නේ නැත.

මොණරාගලට ඉහළින් ඇති සිරිගල කන්දේ පරම්පරා ගණනක් ජිවත් වෙන මොණරකැලේ ජනතාවද සිය ගම්මානයට එහා ගිය ලෝකයක් ඔවුන් දකින්නේ නැත. සරලවම පැවසුවහොත් ඔවුන් ජිවත් වන්නේ අනෙක් මිනිසුන්ගෙන් හුදකලා වෙමිනි. එය ඔවුන්ගේ වරදක් නොවේය. ඔවුන් ජීවත් වන්නේද ලංකාවේය. නමුත් ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමට මේ බලයට පත් වු කිසිදු රජයකට හැකි වී නැත.

මොණරාගල රෝහලට නුදුරින් ඇති කිරි මණ්ඩල මාවතේ ගොස් එහි හන්දියෙන් වමට හැරී කිලෝමීටර් 04 ක පමණ කන්දක් නැඟ ගිය පසු මේ මොණරකැලේ වත්තට යා හැකිය. මේ වත්තේද සිරිගල ඉහළ කොටස හා පහළ කොටස කියා දෙකක් ඇත. ලංකාවෙන්ම හුදකලා වී සිටින්නේ ඉහළම කොටසේ ජනතාවය. මෙහි සිටින්නේ දමිළ වැසියන්ය.

ඔවුන් පරම්පරා ගණනක ඉන්දීය සම්බවයකටද නෑකම් කියන්නේය. 1836 දී පමණ ඒ කාලයේ මෙරට සිටි විදේශිකයින් ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා මෙම වත්තේ පදිංචි කරවා ඇති බව පැවසේ. ඒ විදේශිකයින් විසින් මෙරට වගා කරනු ලැබු රබර් වගාවේ කටයුතු සඳහාය. එකල සිරිගල කන්ද පුරා රබර් වගා කර ඇති අතර ඉන්දීයාවෙන් පැමිණි කම්කරුවන් එහි සේවය කරමින් මෙහිම රැඳෙමින් ලංකාවෙන් විවාහ කරගෙන  ඇත.

මේ වන විට සිරිගල, මොණරකැලේ ඉහළ කොටසේ පළමු ශ්‍රේණියේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනීමට හැකි පාසලක් පවතියි. ඒ සරස්වතී දෙමළ කණිෂ්ඨ විද්‍යාලයයි. දරුවන් 120 ක් පමණ එහි දැනට අධ්‍යාපනය ලබන අතර ගුරුවරුන් 15 කු ඉගෙන්වීම් කටයුතු සිදු කරනු ලබයි. එම ගුරුවරුන්ගෙන්ද එක් ගුරුවරියක් හැර සෙසු සියලුම ගුරුවරුන් උදේ සවස කිලෝමිටර් 4 ක් කන්ද නගිමින් බසිමින් පාසලට පැමිණේ.

මොණරු මෙන් පාට නැති සිරිගල- මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාවමේ මොණරකැලේ වත්තට යා යුතු මාර්ගයද ඉතා දුෂ්කරය. සමහර තැන් පමණක් කොන්ක්‍රීට් කර ඇත. බොහෝ දුරක් ඇත්තේ විශාල ගල් වලින් සමන්විත දුෂ්කරවය. මෙහි පයින් ගමන් කීරිමද ඇතැම් විට අපහසුය. ඉහළ පිහිටි ඇතැම් නිවාස වලට යාමටද මාර්ග නැත. එමෙන්ම මොවුන්ට නිවාස ඇතෙයි කිව්වාට ඒවා නිවාසද නොවේය. ලැයිම් ගෙවල්ය. කොයි මොහොතේ කඩා වැටේදැයි කිව නොහැකිය. මොවුන්ට දැන් වගා කිරිමට රබර් නැත. ඔවුන් හැකි අයුරින් අතුරුබෝග වගා කරති. ගව පාලනයට හුරුව ඇත්තේය. මොවුන් ගෙවන්නේ ඉතාම දුක්ඛිත දිවියකි.

මෙම වත්තේ පැරණි මිනිසුන් හැර සියලුම තරුණ පරපුර දැන් අගනුවර රෙදිපිළි වෙළඳසැල් ඇතුලු සාප්පු සංකීර්ණ වල හා ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා මොණරකැලේ වත්ත අතහැර පැමිණ තිබේ.

එමෙන්ම විවාහක කාන්තාවන් කිහිප දෙනෙකු පමණක් උදේ සවස මේ කන්ද තරණය කරමින් මොණරාගල නගරයේ රැකියා සඳහා පැමිණෙති. ඔවුන්ගේ සැමියන් ගමෙන් පිට නොයන අතර කුමන හෝ භෝගයක් වගා කර ගනිමින් සිටියි. කාන්තාවන් සවසට නිවසට පැමිණෙන විට ඇතැම් සැමියන් සිටින්නේ හොඳ හැටි වෙරි මතිනි. ඒ මොණරකැලේ වත්තේ අඩු නැතුව කසිප්පු ජාවාරම ජයටම කෙරීගෙන යන හෙයිනි. මෙය වත්තේ දරුවන්ට මෙන්ම කාන්තාවන්ටද විශාල කරදරයක්ව ඇති අතර ඔවුන් කියා සිටින්නේ පොලිසීයවත් මේවා වැටලීම් කර ඇල්ලීමට නොපැමිණෙන බවය.

නගරයේ රැකියාවට යන කාන්තාවන්ට දිනකට ලැබෙන රුපියල් 600 න් නිවසට පැමිණි පසු සැමියාට කසිප්පු බීම සඳහා රුපියල් 200 ක් ලබා දිය යුතු අතර නැතිනම් සිදුවන්නේ ඔවුන්ට පහරකෑමටය. ඒ නිසා ඔවුන් කකුල් ගෙවාගෙන උදේ සවස කන්ද නගිමින් බහිමින් නගරයට ගොස් සොයා ගන්නා මුදලෙන් කොටසක් සැමියන්ට ලබා දෙති.

මෙම කන්දට ත්‍රීරෝද රථයකින් යන්නේ නම් රුපියල් 400 ක් ලබා දිය යුතු අතර කන්දේ සිට පහළට බැසීමටත් එම මුදලම ලබා දිය යුතුය. හදිසියකටවත් රෝගීයෙක් පහළට ගෙන යාම මොවුන්ට ඉතා අසීරුය. මෙහි පදිංචි පැරණිම සාමාජිකයා වන කේ. වේලුකුමාර් පවසන්නේ මේ වන විට ගැබිණි මව්වරුන් තිදෙනෙක් රෝහලට ගෙන යන තුර මිය ගිය බවයි.

මොණරු මෙන් පාට නැති සිරිගල- මොණරකැලේ මිනිසුන්ගේ ජිවිත කථාවමෙම මොණරකැලේ වත්තේ පවුල් 220 ක පුද්ගලයින් 820 ක් ජිවත් වේ. මැතිවරණයක් ආසන්නයේදී නම් මෙම වත්තට විවිධ පක්ෂ වල දේශපාලඥයින් පැමිණෙන අතර ඔවුන් විවිධ පොරොන්දු ලබා දී තිබේ. මෙම ගම්වැසියන් පවසන ආකාරයට ගමට යන දුෂ්කර මාර්ගයේ කොන්ක්‍රීට් කර ඇති කොටස කොන්ක්‍රීට් කර ඇත්තේද මැති ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් හත් දෙනෙකු විසිනි.

ගමට විදුලිය ලබා දී ඇත්තේද පහුගිය රජය සමයේය. මෙම වතුයාය අක්කර 1662 ක් පමණ වන අතර මෙහි නැවත රබර් වගා කීරිමට යෝජනා වී තිබුණද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් මෙහි ඉඩම් තක්සේරු කර ඇති අතර  ඊට අදාල තක්සේරු කරන මුදල ලබා දුන්නහොත් රබර් වගා කළ හැකි බව දන්වා ඇතැයිද වේලුකුමාර් පවසයි.

රැකියා නොමැතිකම, ඉඩම් වලට ඔප්පු නොමැති වීම, පදිංචි නිවාස අබලන් වීම, ගමට යන මාර්ගය අබලන් වීම යනාදී පොදු ගැටලු රැසකට මුහුණ දී සිටින සිරිගල – මොණරකැලේ ජනතාවගේ ජිවිත මොණරු මෙන් සුන්දර නොමැති බව මෙහි පිවිසෙන කාටත් අවබෝධ වනු ඇත.

ශානිකා මාධවී

Social Sharing
නවතම විශේෂාංග