අධ්‍යාපනය දේශපාලනීකරණය කරන බවට ආණ්ඩුවට චෝදනා!

ජනාධිපතිවරයා හා රාජ්‍ය ඇමැතිවරුන්  අතර පසුගියදා  පැවති සාකච්ඡාවකදී  අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක්  ගෙන ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි.

ගුරුමාරු හා දරුවන් පාසලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යකටම හවුල්වීමේ අවස්ථාව දේශපාලකයන්ට විවෘතව පවතින  බව  ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

එය පොදු අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේ යැයි  සැප්තැම්බර් 10 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී   ජනාධිපති පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය එදින නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇතැත්  එය දේශපාලන ඇගිලිගැසීමක් වීම නොවැලැක්විය හැකි බව   ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් පෙන්වා දෙයි.

එසේම පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීමේදී වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව ද සොයා බලන අතර , පාසල්වල සිටින දක්ෂ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩකඩ සොයා බැලීමට තීරණය වූ බවත්  එම නිවේදනයේ සදහන්ව තිබු බව  ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙයි.

ලංකා ගුරු සංගමය සැප්තැම්බර් 13 ඉරිදා නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත් කිරීම නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් බවයි.

” පාසල්වල විදුහල්පතිවරු පත්කළ යුත්තේ 2014 ඔක්තෝම්බර් 22 දිනැති අංක 1885/31 දරණ ශ්‍රී  ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථා සංග‍්‍රහයට අනුව තරග විභාගයක් පැවැත්වීමෙනි. මෙම සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයට අයඳුම් කළ හැක්කේ ශ්‍රී  ලංකා ගුරු සේවයේ නිලධාරීන්ටය. ගුරු සේවයේ සිටින පළපුරුදු දක්ෂ නිලධාරීන් තරග විභාගයට පෙනී සිට විදුහල්පති සේවයට ඇතුළත් වීමේ අවස්ථාව උක්ත සේවා ව්‍යවස්ථාව තුළින් ලබා දී ඇත. එසේ තිබියදී වැඩබලන විදුහල්පතිවරු පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා පත් කිරීම තුළින් සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් ලත් ගුරු සේවයේ නිලධාරීන්ට විදුහල්පති සේවයට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වේ. එසේම එය සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.”

අධ්‍යාපන සේවාවන්ගේ සේවා ව්‍යවස්ථා සහ බඳවා ගැනීමේ පටිපාටි උල්ලංඝණය කරමින් පසුගිය රජය මගින් ද දේශපාලන පලිගැනීම් වූවායයි සඳහන් කරමින් පත්වීම් ලබාදීමට කටයුතු කළ අතර, අධිකරණ හා වෘත්තීය ක්‍රියාමාර්ග ඔස්සේ එසේ පත්වීම් නතර කිරීමට අධ්‍යාපන සේවාවන්ගේ සියලූ පාර්ශව ඒකාබද්ධව කටයුතු කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

තරඟ විභාග මගින් විදුහල්පති සේවයට  ඇතුළත් විය නොහැකි පිරිස් විවිධ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහ යටතේ පස්ස දොරෙන් විදුහල්පති සේවයට ඇතුළත්වීමේ ක‍්‍රමවේදයක් වී තිබෙන වැඩබලන විදුහල්පති පත්කිරීම් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය දිගින් දිගටම විරෝධය පළ කර තිබෙන  අතර, වැඩබලන විදුහල්පතිවරු පත්කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලද නිරත වු බව ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් පවසයි.

රජය නීත්‍යානුකූල පාලනයක් රටතුළ ස්ථාපිත කරන බවට ප‍්‍රකාශ කරමින් තිබියදී මෙසේ සේවා ව්‍යවස්ථා උල්ලංඝණය වන ආකාරයෙන් අනීතික ලෙස පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත් කිරීමට තීරණය කරන්නේ නම් එය නීත්‍යානුකූල පාලනයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පරස්පර තත්වයක් නිර්මාණය කිරීමක් වන බවයි ලංකා ගුරු සංගමය පවසන්නේ.

” පාසල් ස්වාධීනව කටයුතු සිදුවිය යුතු ආයතන වේ. ඒ සඳහා දේශපාලකයින්ට අත පෙවීමට ඉඩදීම පද්ධතිය තවදුරටත් දේශපාලනීකරණය කිරීමකි. මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි දේශපාලකයින්ට ඉඩ ලබාදීම පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවේයයි සඳහන් වුවද එය දේශපාලන ඇඟිලි ගැසීමක් වීම නොවැලැක්විය හැකි බව අපි පෙන්වා දෙමු.”

එසේම දැනට පවතින ජාතික පාසල් 372 දහස දක්වා වැඩි කිරීමට ද තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇතැයි  පෙන්වා දෙන ගුරු සංගම් නායකයා අවධාරණය කරන්නේ  සමස්ත පාසල් 10174 න් පාසල් දහසක් පමණක් සංවර්ධනය කිරීමේදී සෙසු පාසල් සම්බන්ධයෙන් වන තීරණය කුමක්ද යන්න එහි  පැහැදිලි කර නොමැති බවයි.

“ජාතික පාසල් තිබීම තුළින් පමණක් පාසල් පද්ධතිය දියුණු වේ යන අදහසක් මේ තුළින් ගම්‍ය වේ. මාධ්‍ය නිවේදනයේ සියලූ පාසල්වල සමාන පහසුකම් ලෙස දක්වා තිබුණ ද තෝරා ගත් පාසල් පමණක් සංවර්ධනය කිරීමෙන් එම අරමුණ ඉටු නොවන බව ද පෙන්වා දෙමු.”

මේ තත්වය තුළ පාසල්වල විදුහල්පති පුරප්පාඩු සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම සඳහා කටයුතු නොකරන ලෙසත්, පාසල්වල දක්ෂ හා පළපුරුදු ගුරුවරුන්ට විදුහල්පති සේවයට පිවිසීමට හැකිවන පරිදි විදුහල්පති සේවයේ තරග විභාග විධිමත්ව පවත්වා සේවා ව්‍යවස්ථාවට අනුව විදුහල්පති ශ්‍රේණිධාරීන් විදුහල්පති පුරප්පාඩුවලට පත් කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටී.

අධ්‍යාපනය සම්බන්ධ තීරණ ගැනීමේදී අධ්‍යාපනඥයන් හා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෘත්තීය සමිති සමග සාකච්ඡා  කරන ලෙස ලංකා ගුරු  සංගමය තවදුරටත්  ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටී.

Social Sharing
නවතම