ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 න් නොනවතින ලකුණු!

20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය පමණක් බවත් මෙය අවසානය නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

20 වන සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මේ මාසේ 02 දා වන අතර ඉන්පසු ඊට පක්ෂව, විපක්ෂව විවිධ අදහස් පළ වූ බවත්, එය ප්‍රජාත්‍රන්තවාදී සමාජයක අවශ්‍ය ලක්ෂණයක් බවද ඔහු පවසයි.

මේක සංවේදී රජයක් බවද සෑම විටම ජනතාව ගැන සිතා ඔවුන්ට ඇහුම්කන් දී තීරණ ගන්නා බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදීද පොදු බව ඒ මහතා කියා සිටියි.

මේ වන විට 20 වන සංශෝධනය පිලිබඳ පළ වී ඇති මත ගැඹුරින් අධ්‍යනය කර අගමැතිවරයාටත්, කැබිනට් මණ්ඩලයටත් වාර්තාවක් ලබා දීම සඳහා කමිටුවක් පත් කර තිබෙන අතර එහි සභාපතිවරයා තමන් බවත් අනෙක් සාමාජිකයින් වන්නේ අලී සබ්රි, නිමල් සිරිපාල, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සුසිල් ප්‍රේම්ජයන්ත, එස්. වියලේන්ද්‍රන්, ඩිලාන් පෙරේරා, ප්‍රේමනාත් දොලේවත්ත යන අය බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මේ වන විට කඩිනමින් විසඳීමට ගැටලු කිහිපයක් ඇති බවත් ඒ අතර ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යධුරය දැරීමට හැකිද යන්න ඇති අතර එය  අවිනිශ්චිත තත්ත්වයක් ලෙස තබා ගත නොහැකි බවත් එය රටට ඉතා අහිතකර තත්ත්වයක් බවද මෙයට පැහැදිලි නීතිමය තත්ත්වයක් තිබිය යුතු බවද ඔහු පෙන්වා දෙයි.

මෙය උසාවියට භාර දී නඩු කියමින් දීර්ඝ කාලයක් ගත කරමින් අවිනිශ්චිත තත්ත්වයක තබා ගත නොහැකි කරුණක් බවත් මෙවැනි කරුණු ඉතාම කඩිනමින් විසඳිය යුතු අතර එවැනි සීමිත අරමුණකින් මේ විසි වෙනි සංශෝධනය නිර්මාණය වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.

Social Sharing
නවතම