මේ අවුරුද්ද මාධ්‍ය නිෂ්පාදනයට සරුයි!

පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර  නිෂ්පාදන කර්මාන්ත   අතරින් “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය” කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 ජූලි මාසය සඳහා  නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති කාර්මික නිෂ්පාදන දර්ශකයට අනුව 2019 වර්ෂයේ ජූලි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2020 ජූලි මස කාර්මික නිෂ්පාදන දර්ශකයේ 2.4% ක  වැඩිවීමක් වාර්තා කර ඇත.

එම දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 11 සිකුරාදා නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන පරිදි 2020 සහ 2019 යන වර්ෂවල ජූලි මස මෙම දර්ශකය පිළිවෙලින් 111.1ක් සහ 108.6 ක් වේ.

එම මාධ්‍ය නිවේදනයේ  වැඩි දුරටත් සදහන් කර ඇත්තේ  නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 10ක්ම 2019 ජූලි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

ඒ අතරින්, “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය”, “බීම වර්ග නිෂ්පාදනය”  සහ “වෙනත් නිෂ්පාදන” වල පිළිවෙලින් 98.8%, 32.4% සහ 17.4% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර ඇත.

“2020 ජූලි මස ආහාර නිෂ්පාදන අංශයෙහි  නිෂ්පාදනයේ 13.7% ක වැඩිවීමක් වාර්තා විය.”

පසුබෑමක්  පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 10 අතුරින්, “සම් සහ සම් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනය”, “විදුලි උපකරණ නිෂ්පාදනය”,  සහ “ඇගලුම් නිෂ්පාදනය” වල 2019 වර්ෂයේ ජූලි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 40.3%, 20.8% සහ 17.2% ක අඩුවීමක් වාර්තා කර ඇත.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ.

මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

“කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය. “

Social Sharing
නවතම