ආණ්ඩුවේ අලුත් ව්‍යවස්ථාව “අද නොවේ හෙට”

“මේ ආණ්ඩුව මේ විසි වෙනි සංශෝධනය සම්මත කරලා ඒ ලැස්ති වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරලා, කම්කරු පන්තිය, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව මර්දනය කරමින් තනිකර මර්දනකාරී ඒකාධිපති රාජ්‍යක් මේ රටේ නිර්මාණය කිරීමේ උවමනාවෙන් තමයි ”

සමාජයේ සියලු බල සංස්ථාවන්ට වඩා ඉහළින් රාජපක්ෂ පවුල පවත්වාගෙන යාමේ උවමනාවක් එම  සංශෝධනය හරහා පෙන්නුම් කරන බවයි එක්සත් සමාජවාදී පක්ෂයේ නායකයා පවසන්නේ.

විසිවැනි ව්‍යවස්ථා  සංශෝධනය සම්මත වූවහොත් එය  ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1978 ව්‍යවස්ථාවත් අභිබවා යන බව සිරිතුංග ජයසුරිය ප්‍රකාශ කළේ සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුවේ ව්‍යවස්ථා  සංශෝධන උත්සාහය වාමාංශික නායකයා විසින් හදුන්වනු ලැබුවේ බරපතල විනාශයක් කරා යන ගමනක් ලෙසිනි.

රටට නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් ගෙනෙන බවට  ආණ්ඩුවේ නියෝජිතයන් විසින්ම “කෙකර ගෑවත්”  එවැන්නක් සිදු කිරීමේ කිසිදු  උවමනාවක් ආණ්ඩුවට නොමැති බව පවසන සිරිතුංග ජයසුරිය එහිදී තව දුරටත් අවධාරණය කළේ ආණ්ඩුවට  අවශ්‍යව ඇත්තේ විසි වන ව්‍යවස්ථා  සං‌ශෝධනය සම්මත කරගනිමින්  තම ගමන යෑමට බවයි.

දුෂණය, මැර බලය, වංචාව, නීති ගත කරමින් බරපතල මර්දනයක් සහිත ඒකාධිපති, රාජාණ්ඩු පාලනයක් මේ රටේ බිහි කිරීමේ උවමනාවෙන් විස්සේ මළ බෙරය ගැසීමට ආණ්ඩුව සුදානම් වන බවට චෝදනා කළ වාමාංශික නායක සිරිතුංග ජයසුරිය  ඉල්ලා සිටියේ එය පරාජය කිරීම සදහා පක්ෂ, පාට නොබලා ඒකාබද්ධ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාට ඒකරාශී වන ලෙසයි.

Social Sharing
නවතම