මහජන දිනය සඳුදාට ගෙන ඒම මගීන් “මරණ” යෝජනාවක්!

බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මරණ යෝජනාවක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ වන විට සාමාන්‍ය වැඩ කරන දිනයක ද කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය නගරයට දරා ගත නොහැකි බවය.

එසේම කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති අතර මේ හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී තිබෙන බවත් මෙවන් තත්ත්වයක් තුළ සඳුදා දිනය යනු කොළඹ නගරයේ සහ කොළඹ නගරයට පිවිසෙන මාර්ග තුළ අධිකව රථවාහන තදබදයක් පවතින දිනය බවද පෙන්වා දෙයි.

මෙවන් පසුබිමක මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොළඹ නගරයේ සඳුදා දිනයේ පවතින තදබදය දෙගුණ තෙගුණ වීම අනිවාර්‍ය කරුණක් බවද මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවීමට නියමිත හිරිහැරය සළකා මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

 

 

Social Sharing
නවතම