“20 කොඩි විනයක්” 19 වන සංශෝධනය රැක ගැනීමට විපක්ෂය වීදි බසී!

ආණ්ඩුව  විසින් ඉදිරිපත්  කර තිබෙන  විසි වන ව්‍යවස්ථා සංශෝධනය රටට කොඩි විනයක් ලෙස හදුන්වන විපක්ෂ නායකයා  ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන්  එය පරාජය කරන බව පවසයි.

” සමගි ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලි ජන කොට්ඨාශත් සමග එකට අත්වැල් බැදගෙන මේ රටට කොඩි විනයක් වන මේ විසි වන සංශෝධනය අපි ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන්, ජන සවියෙන්, ජන ශක්තියෙන් පරාජය කරන්නට අපි නායකත්වය ශක්තිය ලබා දෙනවාය කියන එක මේ අවස්ථාවේදී පැහැදිලිවම ප්‍රකාශ  කරනවා. ”

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ බව සදහන් කළේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන  විසි වන  ව්‍යවස්ථා  සංශෝධනයට  එරෙහිව සැප්තැම්බර් 8 අගහරුවාදා පාර්ලිමේන්තුව සමීපයේ  පිහිටි  මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ  පිළිරුව අසල  පැවැත් වූ සත්‍යග්‍රහයේ දී  අදහස් දක්වමිනි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය රැක ගන්නා,  20 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන ප්‍රතිඥාවක්ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් එහිදී ලබා දී තිබුනි.

විසි වන සංශෝධනය පරාජය කිරීමෙන් නොනැවතී  දහ නම වන ව්‍යවස්ථා සංශෝධනයේ පැවැති සියලුම අඩු පාඩු නිවැරදි කිරීමට කටයුතු කරන බවටත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එහිදී  පොරොන්දු විය.

සත්‍යග්‍රහයෙන් පසු ගා ගමනින් බත්තරමුල්ල  ජපන්මිත්‍ර පාලම අසලට පැමිණි සමගි ජන බලවේගයේ නියෝජිතයන් එහිදී  ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන විසි වන ව්‍යවස්ථා  සංශෝධනයට විරෝධය පා  උද්ඝෝෂණයක්ද  දියත් කළේය.

 

Social Sharing
නවතම