පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙනා පුද්ගලයින් නැවත සේවයේ පිහිටු වීම සුදුසුද?

මේ දිනවල දේශපාලන පළිගැනීම් කොමිසම ඉතාමත් කාර්යබහුල වී ඇත. ඒ පහුගිය කාලයේ විවිධ දේශපලාන පළිගැනීම් වලට ලක් වූ බවට බොහෝ පුද්ගලයින් මෙම කොමිසමට පැමිණිලි කිරීම නිසාය. ඒ අතර මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේද පැමිණිල්ලක් ද තිබේ.

මේ පැමිණිල්ලේ විමර්ශන වලට අදාලව වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා  පහුගිය 07 දා කොමිසම හමුවට කැඳවා තිබිණි.  එහිදී වැඩ බලන පොලිස්පතිවරයා දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීමට තමන්ගේ කිසිදු විරෝධයක් නොමැති බවය.

එමෙන්ම ඔහු තවදුරටත් සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ ලලිත් ජයසිංහ මහතා තමාට වඩා පහළින් සිටින ජ්‍යෙෂ්ඨතම පොලිස් නිළධාරියා බවත්  ඔහු සේවයේ සිටියා නම් පොලිස්පතිවරයා වීමටද ඉඩ තිබූ බවය. එසේම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන ලලිත් ජයසිංහ මහතාගේ සේවය පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය බවත් අවශ්‍ය නම් මේ සම්බන්ධ නිර්දේශ ඉදිරියේදී ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කල හැකි බවත්ය.

මෙහිදී අවස්ථා දෙකකදී තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලලිත් ජයසිංහ මහතා අභියාචනා කළ ද එය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් මෙහිදී වැඩ බලන පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා තිබු අතර, එහිදී ඔහු කියා ඇත්තේ ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසූ විට ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම සුදුසු නොවන බව නීතිපතිවරයා දැනුම් දුන් බවය.

එහිදී කොමිසම ප්‍රශ්න කර ඇත්තේ පරිපාලනමය තීරණ ගැනීමේ මූලික වගකීම තමන් සතුව තිබියදී නීතිපති මතය විමසුවේ මන්ද යන්නය.

තමන් සාමාන්‍යයෙන් යම් යම් තීරණ ගැනීමේදී නීතිපති මතය විමසන බව මෙහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇත.

ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීම සෘජු ලෙසම දේශපාලන පළිගැනීමක් මත සිදුවූවක් බව පෙනී යන බව මෙහිදී කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙන බවත්  වැඩ තහනමකට ලක් වූ නියෝමාල් රංගජීව නැවත සේවයේ පිහිටවූ නමුත් එම ක්‍රමවේදය ලලිත් ජයසිංහ මහතා අනුගමනය නොකිරීම ගැටලු සහගත බවද සභාපතිවරයා එහිදී අවධාරණය කර ඇතැයිද මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

මේ අනුව ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාව සේවයේ පිහිටුවනු ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙනා පුද්ගලයින් නැවත සේවයේ පිහිටු වීම සුදුසුද? නමුත් ලලිත් ජයසිංහ යනු සමාජ ආන්දෝලනයන්ට තුඩු දුන් නඩු දෙකක විත්තිකරුවෙකි. 2015 මැයි 13 දා යාපනය, පුංකුඩිතිව් ප්‍රදේශයේදි පාසල් යමින් සිටි ශිවලෝගනාදන් විද්‍යා දැරිය කැලයකට ඇදගෙන ගොස් සමූහ දුෂණයට ලක් කර ඝාතනය කෙරුණි. ඒවකට මොහු උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. මෙය මුලු රටේම දැඩි ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් විය.

එබැවින් මෙම ඝාතන සිද්ධියට අදාලව විමර්ශනය කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට පත්  වන විට ප්‍රධාන සැකකරු වු මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර යන අය උතුරු පළාතෙන් පලා ගොස් තිබුණි. දිගින් දිගටම මේ පිලිබඳ කළ සොයා බැලීමකදි අනාවරණය වුයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා විසින් මොහුට උතුරු පළාතෙන් පලා යාමට උදව් කර ඇති බවය. ඒ අනුව ඒකී චෝදනාවට ඔහුව අත්අඩංගුවට ගැනුනේ 2017 ජුලි 15 දාය. එවකට මොහු මධ්‍යම හා ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය.

ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරුණි.

මේ වන විට ඔහුට තවත් චෝදනාවක් එල්ල වී තිබුණේය. ඒ 2015 ජනවාරි මාසයේ 05 වැනිදා කහවත්ත නගරයේ පැවත්වීමට නියමිත තිබූ ප‍්‍රචාරක රැස්වීමක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට පහරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සහ තවත් දෙදෙනකුට තුවාල කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ නියෝජ්‍ය ඇමතිව සිටි ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලීගේ නම බී වාර්තාවට ඇතුළත් නොකරන නිලධාරීන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙනි. කෙසේ නමුදු දැන් ප්‍රේමලාල් ජයසේකරද බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තු පැමිණ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

මෙම සිද්ධීන් දෙකෙදීම මෙම උසස් නිලධාරීයා පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ගෙන ආ අයෙක් ලෙස හංවඩු ගැසී ඇත. විශේෂයෙන් පොලීසිය පමණක් නොව ත්‍රිවිධ හමුදාවේද එහි නාමයට අපකීර්තියක් ගෙන එන පුද්ගලයින් සේවයේ තබා ගන්නේ නැත. ඔවුන්ව සේවයෙන් පහ කරනු ලබයි. ඒමෙන්ම ඒලෙස මිය යන පුද්ගලයෙකුට අවම වශයෙන් නිල ඇඳුමවත් ලබා දෙන්නේ නැත. කිසිදු වරප්‍රසාදයක් හිමි වන්නේ නැත.

එලෙස සිය දෙපාර්තමේන්තුවට අපකීර්තියක් රැගෙන ආ උසස් පුද්ගලයින් යළි සේවයේ පිහිටු වන්නේ නම් පහළ සිටින මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරීන්ද සේවයේ පිහිටුවිය යුතුව ඇත. ඒය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරටත් එසේනම් පොදු වන්නේය.

එමෙන්ම උසස් නිලධාරීන් ගන්නා මෙවන් තීරණ තුලින් පහළ සිටින පොලිස් නිලධාරීන්ටද වැරදි කිරීමට අනුබල දීමක් වන අතර  මහජනතාව පොලීසිය කෙරෙහි තබා ඇති විශ්වාසනීයත්වයද පලුඳු කීරිමක් වනු ඇත.

-ශානිකා මාධවී-

Social Sharing
නවතම