“විස්ස” සියලු ජාතීන්ට අහිතකර බව බාහු කියයි!

සිංහලයන්   මුලා කරමින් වත්මන් ආණ්ඩුව  විශාල බලයක් අත්පත් කරගත්  බව පවසන   ජ්‍යෙෂ්ඨ  වාමාංශික නායකයෙක්, ආණ්ඩුව සිදු කිරීමට සැරසෙන  ව්‍යවස්ථා සංශෝධනය හරහා සියලු ජාතීන්ගේ අයිතීන් අහිමිවන ආකාරය පෙන්වා දී තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම තුළ ග්‍රාමීය බහුතර  සිංහල ජනතාවට අර්බුද රැසකට මුහුණ දීමට සිදු වන බවයි මහාචාර්ය වික්‍රමබාහු කරුනාරත්න පවසන්නේ.

” 17 වන සංශෝධනයන් , 13 වන සංශෝධනයන් තුලින් ජනතාවට ලබා දීපු අයිතිවාසිකම් නැතිවෙනකොට ඒක නැති වෙන්නේ දෙමළට, මුස්ලිම් මිනිහට විතරක් නෙමෙයි. ගමේ ගොඩේ ඉන්න, හද්ද පිටිසර ඉන්න එකාට තමයි වැඩියෙන්ම ඒක ඉවර කරලා යන්නේ. අයිතිවාසිකම් විනාශ කරලා යැවෙන්නේ. මේක තමයි මේ ජනතාවට කරපු විශාලම ප්‍රෝඩාව. සිංහලේ ඉන්න ජනතාවගෙන් , විශාල පිරිසකට පළාත් සභා තුලින් තමයි සුකිත මුදිත තත්වයක් ඇතිඋනේ.”

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඒ බව සදහන් කළේ සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය සැප්තැම්බර් 8 අගහරුවාදා රාජගිරියේදී පැවැත්වු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

බුදුන් වහන්සේගේ ධර්මය  විකුනුම් භාණ්ඩයක්  කරගනිමින් වත්මන් ආණ්ඩුව නොයෙක් දේ සිදු කිරීමට පටන් ගෙන ඇති බවටත් මහාචාර්යවරයා  එහිදී චෝදනා කළේය.

“අහිංසක  බෞද්ධ සිංහල මිනිසුන්ව රවට්වලා බිය ගන්වලා ක්‍රෝධයට, ද්වේශයට මෙහෙයවලා මෙත්තා, කරුනා, මුදිතා, අපේක්ෂාව වෙනුවට වෛරය, ලෝභය, ද්වේශය, පතල කරලා ඒ අනුව දෙමළ මුස්ලිම් ජනතාව බිය වද්දලා මේක කරගෙන යනවා.දැන් මේකට හයිය ලබා ගත්තා ඔය ගොරතර පාප කර්ම වලින් ”

ඇති වී තිබෙන තත්වයෙන් ජනතාව මුදා ගැනීම සදහා ක්‍රියා කළ යුතු බව මහාචාර්ය වික්‍රමබාහු කරුනාරත්න එහිදී  වැඩි දුරටත් සදහන්  කළේය.

 

Social Sharing
නවතම