මේ හදන්නේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් කිරීමටයි.

බෙදුම්වාදය ශක්තිමත් කිරීම සදහාත්,  මේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් බවට පත් කිරීමේ වුවමනාව ඉටු කරදීමට සුදුසු වටපිටාව සකස් කර ගැනීම සදහාත්, ආණ්ඩුව විසින් 20 වැනි ව්‍යවස්ථා  සංශෝධනය කරළියට ගෙනවිත් තිබෙනවා. මේ රටට මහා විනාශයක් සිදු කළ ජේ.ආර් ගෙ 78 ව්‍යවස්ථා මර උගුලට එහා ගිය ප්‍රජාතන්ත්‍රවාදය අතු ගා දමන ව්‍යවස්ථා සංශෝධනකුයි දැන් ඇවිදින් තිබෙන්නේ. එකාවන්ව අත්වැල් බැදගෙන මෙම ව්‍යවස්ථා  මර උගුලෙන් රට මුදවා ගැනීම දේශමාමක කොයි කාගෙත් වුවමණාව බවට පත් කර ගත යුතු යැයි ජාතික භික්ෂු පෙරමුණේ  ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ඊයේ (08) දින තංගලලේ පැවති මාධ්‍ය හමුවෙදී පැවසීය.

ඡාතික භික්ෂු පෙරමුණ විසින් පවත්වන ලද මෙම මාධ්‍ය හමුව සදහා ජාතික භික්ෂූ පෙරමුනේ සභාපති හදුගල රතනපාල හිමියන්ද සහභාගි වි සිටියහ.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ වකමුල්ලේ උදිත හිමියන් මෙසේද පැවසීය. 78 දී ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ආ ව්‍යවස්ථාවෙන් ගෝත්‍රික නායකයෙකු රට තුළ බිහි වුණා. එසේ නිර්මාණය වූ නායකයෙකු  නිසා මේ රට විනාශයට පත් වුණා. මේ ආණ්ඩුව දැන් උත්සාහ ගනිමින් ඉන්නේ එවැනි පන්නයේ ගෝත්‍රික නායකයෙක් බිහි කරන්නයි. ඒකාධිපති බලයක් නිර්මානය කර ගත්තු නායකයින් විසින් මේ රටට හොදක් කළේ නෑ. රට විනාශ කලා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැති කළා. එවැනි පන්නයේ නායකයෙක් අපේ රටට අවශ්‍ය නෑ.

මේ ආණ්ඩුව තමන්ට ලැබුණු ජනවරම වැරදි විධියට තේරුම් අරගෙන කටයුතු කරනවා. මේ ආණ්ඩුවට ව්‍යවස්ථා සංශෝධනයක්  කරන්න කවුරුවත් ඡන්දය දුන්නේ නෑ. මේ ආණ්ඩුව බලය ඉල්ලුවේ අළුත් ව්‍යවස්ථාවක් රට ට හදුන්වා දෙනවා කිය. එහෙම කියපු ආණ්ඩුව 19 වැනි සංශෝධනයේ තිබෙන සියළුම ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ කුඩු පට්ටම් කොට ප්‍රජාතන්ත්‍ර වීරෝධි  ව්‍යවස්ථාවක් ගේන්න හදනවා.

කොමිෂන් සභා  ස්ථාපිත කිරීම 19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයේ ඉතා වැදගත් එකක්. අධිකරණය පිළිබද තීන්දු, පාර්ලිමෙන්තුව පිළිබද තීන්දු ගැනීමේ තනි පුද්ගලයෙකු සතුව තිබූ බලය මෙම කොමිෂන් සභා තුලින්  ව්‍යවස්ථා මණ්ඩලයක් හරහා ඉටු කිරීම සදහා බලය හිමි වුණා. එම ප්‍රජාතන්ත්‍රවාදී පත්කිරීම් සියල්ල 20 වැනි සංශෝධනය හරහා තනි පුද්ගලයෙකුට ලබා දෙන්නට කටයුතු කරමින් පවතිනවා. ඉන් පසු එම ආයතන සියල්ල එම පුද්ගලයා ගේ කැමැත්ත පරිදි ක්‍රියාත්මක වෙන තැනට කටයුතු සිදු වෙනවා. ජනාධිපතිවරයා විසින් පත් කරන සභාපතිවරුන් ඉන්න  කොමිෂන් සභා වලින් සාධාරණයක් වෙයි කියා අපි විශ්වාස කරන්නේ නෑ.

ඒ වගේම විගණන කොමිෂම ප්‍රසම්පාදන කොමිෂම 20 වැනි සංශෝධනය මගින් ඉවත් කරන්නට යෝජනා කොට තිබෙනවා. විගණන කොමිෂම ඉවත් කිරීම ඉතාමත් බරපතලයි. රට තුළ මුල්‍ය අපරාධයක් සිදු වුණාම ඒවා පිළිබදව සොයා බැලීම සදහා කටයුතු කරන්නේ විගණන කොමිෂමයි. 20 වැනි ව්‍යවස්ථා  සංශෝධනයෙන් එය ඉවත් කිරීම තුළින් සිදු වන්නේ රට තුළ මුල්‍ය අපරාධ වලට ඉඩ කඩ හිමි වීමයි. පසු ගිය රජයේ මහා මුල්‍ය වංචාවක් වූ බැදුම්කර වංචාව පිළිබදව හෙලිදරවු කරන ලද්දේ විගණන කොමිෂම මේ රටේ පැවති නිසා. ඒ වගේම ප්‍රසම්පාදන කොමිෂම ඉවත් කිරීම තුළින් ටෙන්ඩර් කැදවීමකින් තොරව මහා පරිමාන ව්‍යාපෘති පටන් ගන්න ආණ්ඩුවට පුළුවන් කම ලැබෙනවා. ඒ තුලින් මහජන මුදල් හොරා කන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා.

දැන් මේ 20 වැනි ව්‍යවස්ථා  සංශෝධනය පිළිබදව ගෙවිදු කුමාරතුංග,  විමල් වීරවංශ දයාසිරි ජයසේකර සමහර කෑලි අල්ලගෙන එක එක කථා කියනවා. බොරු විරෝධයක්  මවා පෙන්වනවා. වීරවංශ මහත්තයා ඔහුගේ අනුගාමික සංවිධාන වල නියෝජිතයින් හරහා යම් යම් විරෝධයන් දක්වනවා. නමුත් ඔවුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී කෙලින් හිට ගන්නේ නෑ. ඔවුන් මේ රටේ පෙනී හිටියේ මහා දේශප්‍රේමීන් විධියට නේ. කෝ ඒ දේශප්‍රේමී කම දැන්.

ආණ්ඩුවේ සමහර පත්කිරීම් ගැන වීරවංශ විවේචනය කරනවා. මිලින් ද මොරගොඩ ගේ පත්වීම සම්බන්ධයෙන් ජයනාත් කොළඹගේ ගේ පත්වීම සම්බන්ධයෙන් වීරවංශ ට විවේචනයක් තිබෙනවා. අපි හිතනවා ඔවුන් සම්බන්ධයෙන් වීරවංශගේ ප්‍රකාශ වල යම් ගැඹුරක් තිබෙනවා කියා. නමුත් ඔවුන් විවේචනයට සීමා වී ආණ්ඩුව සමග ගමනක් යනවා.

මේ ආණ්ඩුව බලයට පත්කිරීම සදහා මේ රටේ සමහර භික්ෂූන් වහන්සේලා පෙරට ආවා. එක් භීක්ෂූන් වහන්සේ නමක් හිට්ලර් පන්නයේ රාජ්‍ය නාකයෙක් පැතුවා. දැන් එවැනි නායකයෙක් බිහි කරන්න ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ල තිබෙනවා.  දැන් මොනවාද අර භික්ෂූන් වහන්සේලා කියන්නේ ?මේ ආණ්ඩුවට උපදෙස් දෙන්න භීක්ෂූන් වහන්සේලාගෙන් සමන්විත උපදේශක මණ්ඩුලයක් ඉන්නවා. උන්වහන්සේලා මේ ව්‍යවස්ථාව  සම්බන්යෙන් කුමක්ද කියන්නේ කියා රට ට හෙළ කළ යුතුයි. ධර්ම මන්දිර ඉදි කරව ගන්න චෛත්‍යයට කොත් පළදවගන්න නොවෙයි මේ ආණ්ඩුව පත් කර ගත්තේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි හා 07 වැනි වගන්ති ඉවත් කරන්න 20 වැනි සංශොධනයේදි යෝජනා වී තිබෙනවා. ඒ වගන්ති වල තිබෙන්නේ රටේ ඒකීය භාවය පිළිබද කරුණයි. නමුත් එම කරුණු 20 වැනි සංශෝධනයෙන් ඉවත් කොට තිබෙනවා. ඉන් අදහස් වෙන්නේ අධිරාජ්‍ය වාදීන්ට අවශ්‍ය වු මේ රට බෙදීමේ ක්‍රියාවලයට අනුගත වීම සදහා ආණ්ඩුව සූදානම් වෙමින් ඉන්න බවයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අගමැතිවරයා නොසලා හැර තිබෙනවා. මල්ලී විසින් අයියාගේ බලතල කපා හැරීම ඉතා ඛේදජනකයි.

ආණ්ඩුව විසින් ගෙනආපු 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී  ලියවිල්ලක්  බව  ඉතාමත් පැහැදිලියි. එක් පුද්ලයෙක් වටා බලය කේන්ද්‍රගත කිරීම සදහා මේ සංශෝධනය ගෙනවිත් තිබෙනවා. රටට ආදරය කරන සියල්ලම එකතු වී මේ බල වුවමනාව පරාජය කළ යුතුයි කියා අප විශ්වාස කරනවා.

-චන්ද්‍රසේන ගමගේ-

 

Social Sharing
නවතම