දුම්රිය ප්‍රමාද වීම් හා පීලි පැනීමේ ඇත්ත නැත්ත මෙන්න!

මේ වන විට ශ්‍රි ලංකාවේ දිනකට දුම්රිය ගමන් වාර 360 -380 ක් අතර සංඛ්‍යාවක් ධාවනය වේ. එමෙන්ම දිනකට දුම්රිය මඟීන් ලක්ෂ 3- 5 ත් අතර ප්‍රමාණයක් දුම්රියේ ගමන් කරති.

වෙනත් ප්‍රවාහන සේවා වලට වඩා දුම්රියේ ගමන්  කිරීම පහසු බැවින් බොහෝ දෙනා දුම්රියේ ගමන් කිරීමට පෙළඹී ඇත. මෙම ගමන් කරන මඟීන්ගෙන් බහුතරයක් කාර්යාල සේවක සේවිකාවන් වේ. එක් කාර්යාල දුම්රියක් දිනකට අවලංගු වීම යනු දුම්රිය බොහෝ මඟීන් පිරිසක් අතරමං වීමකි.

ඊයේ (07) දිනයේද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබු ගාලු කුමාරි, මහව කාර්යාල දුම්රිය, රුහුණු කුමාරි, සෙංකඩගල මැණිකේ, ටිකිරි කුමාරි ඇතුලු දුම්රිය රැසක් නියමිත වේලාවට වඩා ප්‍රමාද වී ධාවනය කෙරුණි. එමෙන්ම මින් ඇතැම් දුම්රියන් ධාවනය කිරීම අවලංගු කර තිබුණි. මේ නිසා ඊයේ දින ධාවනය වු දුම්රියන් වල අධික ලෙස මඟීන් පිරී සිටියහ. එමෙන්ම තවත් දුම්රිය මඟීන්ට දුම්රියන් වල මඟීන් අධික වීම නිසා  ගොඩවීමට නොහැකිව අසරණව සිටියහ. මේ නිසා ඊයේ දින බොහෝ දුම්රිය මඟීන් පිරිසක් ප්‍රවාහන අමාත්‍යවරයාගේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ දෙමාපියන් සිහිකරමින් හොඳහැටි දොස් පැවරූහ.

ඊයේ දින දුම්රිය ප්‍රමාදයට හේතුව ලෙස සඳහන් කෙරුණේ මරදාන හා දෙමටගොඩ අතර දුම්රියක් පීලි පැනීම නිසා බව මව්බිම පුවත්පත අද (08) දින වාර්තා කර තිබුණි. එමෙන්ම දෙමටගොඩ, මරදාන, කොටුව අතර පනවා ඇති වේග සීමාවන් නොතකා දුම්රියන් ධාවනය වීම පීලි පැනීමට හේතු වී ඇතැයිද දුම්රිය ආරංචි මාර්ග පවසන බව එම පුවතෙන් වැඩිදුරටත් දක්වා තිබේ.

මේ අතර නියමිත කාල සටහන් අනුව ධාවනය නොවන දුම්රියන් පිලිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා දුම්රිය සාමාත්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා වෙත දැනුම් දී ඇති බව අද (08) දින ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 2017 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට අනුව එම වසරේ දුම්රිය ප්‍රමාද වී ධාවනය වීමේ ප්‍රතිශතය සියයට පනස් හයක් වන අතර 2018 වසරේදී එය සියයට 59 ක් දක්වා වර්ධනය වී ඇතැයිද එම පුවතෙන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

දුම්රියන් රැසක්ම පහුගිය දිනවල පීලි පැනීමට ලක් වු අතර එහිදී දුම්රියන් ප්‍රමාද වීම්ද සිදු විය.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු හා දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ අනුශාසක ලාල් ආරියරත්න මහතාගෙන් විමසා සිටියෙමු.

ඔහු කියා සිටියේ මේ දුම්රිය ධාවනය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දුම්රිය මාර්ග වල ඇති අබලන් තත්ත්වය බවය. වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණයක් වී නොමැති මේ ප්‍රධාන දුම්රිය මාර්ග වල පවතින දෝෂ නිසා නිරන්තරයෙන්ම දුම්රිය පීලි පැනීම සිදු වන බවත් එමෙන්ම මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව දුම්රිය රියදුරන්ට ලබා දී ඇති නීත්‍යානුකූල වේග සීමා වලට ධාවනය කිරීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියි.

නිදසුනක් ලෙස මරදානේ සිට පානදුර දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියක් විනාඩි 25 ක් තුල ධාවනය විය යුතු අතර මන්දගාමී දුම්රියක් විනාඩි 40 ක් තුල ගමන් කළ යුතුව තිබේ. නමුත්  නීත්‍යානුකූල වේග සීමා 30 ට අනුව  එම වේලාවන් තුල දුම්රිය ධාවනය කර අවසන් කළ නොහැකි බවත් අවම වශයෙන් මන්දගාමී දුම්රියට මරදානේ සිට පානදුර දක්වා ගමන් කිරීමට පැය 2 ක් පමණ ගත වන බවද ඔහු පෙන්වා දෙයි.

නමුත් දුම්රිය රියදුරන් ලබා දී ඇති කාල වේලාවට ළඟා වීමට උපරිම වේගයෙන් දුම්රිය ධාවනය කරවන බවත් එහිදි යම් හෙයකින් දුම්රිය පීලී පැනීමකට ලක් වුවහොත් ඉන් අලාභයද එකී දුම්රිය රියදුරාගෙන් රුපියල් ලක්ෂ ගණනින් අය කර ගන්නා බවද ලාල් ආරියරත්න මහතා පවසා සිටියි.

එහෙත් දුම්රිය රියදුරන් දෙසති නිවේදනයෙන් ලබා දෙන නීත්‍යානුකූල වේග සීමා වලට අදාලව දුම්රිය ධාවනය කළහොත් දුම්රිය ප්‍රමාද වී ධාවනය කරන බවට චෝදනා කර දුම්රිය මඟීන් ඉහළ බලධාරීන්ට පෙත්සම් යොමු කරන බවත් ඔහු කියා සිටියි. මෙම වේග සීමා වසරෙන් වසර වැඩිවෙමින් පවතින බවත් වහාම මේ ප්‍රශ්නය විසඳිය යුතුව ඇතැයිද ඔහු අවධාරණය කර සිටියි.

අවම වශයෙන් කලුතර සිට පොල්ගහවෙල දක්වා හෝ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් එයට දුම්රිය කම්කරුවන්ගේ හිඟය බාධාවක් වී ඇත. විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගෙන එන ලද දුම්රිය එන්ජින් මෙවැනි අබලන් දුම්රිය මාර්ග වල ධාවනය කීරිමට නොහැකි නිසා මේ වන විට ඒවා ඉවත් කිරීමට සිදු වෙමින් පවතිනවා යැයි ලාල් ආරියරත්න මහතා පවසයි.

මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටින්නේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රමාණවත් කම්කරුවන් පිරිසක් එහි නොමැති බවය. නමුත් ලාල් ආරියරත්න මහතා පෙන්වා දෙන්නේ කම්කරු 3 ශ්‍රේණියේ කම්කරුවෙකු ලෙස දුම්රිය මාර්ගයේ වැඩට පැමිණෙන පුද්ගලයා වසරක්වත් එහි සේවය නොකර දේශපාලන හිතවත්කම් මත දුම්රිය ධාවනාගාරයේ වැඩට යන බවය. කම්කරුවෙකු උසස් වීම් ලැබිම වරදක් නොවන නමුත් අවම වශයෙන් මේ බඳවා ගන්නා කම්කරුවා වසර දෙකක්වත් එහි සේවය කරන්නේ නම් මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුවේ කම්කරු හිඟය මඳක් හෝ පියවා ගත හැකි බවයි.

මේ කම්කරු හිඟය නිසා දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සමයේ සිල්පර කොටන්,  පීලි ගෙන ආ බවත් ඒවා තවමත් පැත්තකට දමා ඇති බව ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් 19 නිසා මෙරට සියලු කාර්යයන් අකර්මණ්‍ය වී තිබු දිනවල දුම්රිය කම්කරුවන් යොදවා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබුණත් ඔවුන්ට අතීකාල දීමනා ආදිය ගෙවීමට නොහැකි බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පැවසීම නිසා එම කටයුතු ද ඇණ හිට තිබේ.

දිගින් දිගටම දුම්රිය මාර්ග වල අබලන් තත්ත්වය ඉහළ යනු විනා ඒවා ප්‍රතිසංස්කරණයක් නොවන බැවින් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉදිරියේදී විශාල වශයෙන් අලාභ ඇති විය හැකි බවත් වේග සීමා ගැටළුවද කඩිනමින් විසඳිය යුතුව ඇති බවත්  පෙන්වා දෙන ලාල් අරියරත්න මහතා කියා සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන දුම්රිය වෘත්තිය සමිති වලට අවස්ථාවක් ලබා දිය යුතු බවය.

නැතහොත් දුම්රිය දිනෙන් දිනට ආගාධයට යනු විනා ලාභදායි දෙපාර්තමේන්තුවක් බවට පත් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානිකා මාධවී-

Social Sharing
නවතම