චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!

මෙවර මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණ  සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් අද (07) නිකුත් කර තිබේ.

මහ මැතිවරණ යෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වු තමාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස මරණීය දඩුවම් ලබා සිටින ඒ් ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමිනි.

එසේම පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතීසි නිකුත් කර තිබේ.

තීරණය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නවාස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තේරී පත්වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බවය.

එමෙන්ම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බව ද සඳහන් කර සිටියේය.

එසේම පෙත්සම යළි මේ මස 29 දා කැඳවීමට ද අධිකරණය නියෝග කළේය.

Social Sharing
නවතම