කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165  සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය.

මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ඩීසල් තෙල් පිරිපහදුවෙන් පසු ඉවත්කරනු ලබන නැප්තා මෙහි ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමය. මෙම බලාගාරයෙන් විදුලිය නිපදවීමට වැයවන්නේ ඒ්කකයට රුපියල් 18-20 ත් අතර මුදලකි. ඒමෙන්ම මෙය පරිසර හිතකාමී බලාගාරයකි.

මේ බලාගාරය මඟින් වාර්ෂික විදුලි නිෂ්පාදනය ගිගාවොට් 1084 ක් හෙවත් විදුලි ඒකක කෝටි 108 කට වඩා අධිකය.

වසර 19 කට පසු මෙකී බලාගාරයේ එක්තරා මැෂින් කොටසක් (භමක යන්ත්‍රය)  අක්‍රීය විය. ඒ අගොස්තු මාසයේය. ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියෙන් මෙම බලාගාරය ඉවත් කෙරෙන්නේ 2019 ඔක්තෝම්බර් මාසයේ යළි පණ ගැන්වීමේ සැලසුම ඇතිවය. මේ භමක යන්ත්‍රය හෙවත් Rotor කොටස අලුත්වැඩියාව සඳහා ඉන්දියාව වෙත යැවීමට නියමිතව තිබුණි.

නමුත් ලංවිම නිලධාරීන් එය යවා ඇත්තේ ඩුබායි වලටය. පසුව ඩුබායි වල සිට ඉන්දියාවට ගෙන ඒමට සිදුව ඇත. මේ නිසා මාස දෙකක් තුල යළි පණ ගැන්වීමට තිබු බලාගාරය වසර එක හමාරක් දක්වා ප්‍රමාද විය. මේ නිසා සෘජුවම රුපියල් බිලියන 25 ක පමණ පාඩුවක් සිදු විය.

මේ අතර අදාල කොටස අලුත්වැඩියා කිරීමෙන් පසු යළි ලංකාවට ගෙන එන ලද්දේය. එයද විශාල වියදමක් දරමිනි. ගෙනා පසු  එය නිසි සොයා  බැලිමකින් තොරව යළි බලාගාරයේ සවි කිරිමට යාම නිසා බලාගාරයේ ප්‍රධාන භමක යන්තුයට හා බෙයාරිං කොටස් දෙකකට හානි සිදුව ඇතැයි ලංවිම වෘත්තිය සමිතිය චෝදනා කර සිටියි.

මෙය ලංවිම පරිපාලනයේ දුර්වලතාවය ප්‍රදර්ශනය කෙරෙන ක්‍රියාවලියක් බවත් මේ වනවිටත් එහි අත්‍යවශ්‍ය පරික්ෂණ සිදු නොකර යළි යළිත් මෙය පණ ගැන්වීමට උත්සහ කරන බව ඔවුන් කියා සිටියි. මෙහිදි ඇති විය හැකි පාඩුව අති විශාල බව පෙන්වා දෙන ලංවිම වෘත්තිය සමිති සේවකයින් කියා සිටින්නේ රුපියල් 20 වැනි අඩු පිරිවැයකින්  ඒකකයක් නිපදවීම වෙනුවෙට අධික පිරිවැයක් සහිත බලාගාරයකින් විදුලිය නිපදවීමට සිදුවීම ලංවිම දැඩි අලාභ ලැබීමට කරුණක් වන බවය.

මේ නිසා ලංවිමට ඇති වූ අලාභය පිලිබඳ කරුණු විමර්ශනය කිරිමට මෙන්ම මෙවැනි තත්ත්වයක් යළි ඇති වීම වළක්වා ගැනිමට නිර්දේශ ලබා ගැනීමට ලංවිම පරිබාහිර විද්වත් ස්වාධීන කමිටුවක් පත් කරන ලෙස ලංවිම වෘත්තිය සමිතිය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

 

-ශානි-

Social Sharing
නවතම