පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (06) පෙරවරු 6.00 සිට අද (07) පෙරවරු 5.00 දක්වා පොලිසීය විසින් සිදු කළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 637 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළ බව අද (07) උදෑසන නෙත් එෆ්. එම් වෙබ් අඩවියේ පළ කර තිබුණි.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර හෙරොයින් සන්තකව සිටි සැකකරුවන් 283 ක්, ගංජා සන්තකව සිටි සැකකරුවන් 124 ක්, නීති විරෝධිව මත්පැන් සන්තකයේ ළඟ තබා ගෙන සිටි සැකකරුවන් 191 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවන් 09 කු වන බවද සිටින බව එම කාර්යාලය ප්‍රකාශ කළ බවට එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

මෙම ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට බස්නාහිර පළාතෙන් ගත වූ පැය 24 ට සැකකරුවන් 637 ක් අත්අඩංගුවට පත්ව ඇත. නමුත් මේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සියලු දෙනාම සැකකරුවන්ද යන්න ගැටලුවක් ඇත්තේය. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනය කරමින් පොලිසීය විසින් හිතුමතේ සැකපිට අත්අඩංගුවට පත් වුවෝද සිටිති.

මීට ආසන්නතම උදාහරණයක් වාර්තා වුයේ ඊයේ දින ගණේමුල්ල පොලිස් වසමෙනි. ගණේමුල්ල පොලිස් වසමේ, යාගොඩ ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකු ඊයේ ගණේමුල්ල පොලිස් ජංගම රථයක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ දුම්වැටියක් මිලදී ගෙන පැමිණෙමින් සිටියදීය.  ඔවුන් අත්අඩංගුවට ගත් හේතුවක් පැහැදිලව ප්‍රකාශ කිරීමට පොලිසියට හැකියාවක් නොතිබුණු අතර ඔවුන් මෙම තරුණයින්ගේ ඥාතීන්ට කියා තිබුණේ සැකපිට අත්අඩංගුවට ගත් බවය. නමුත් මොනවාට සැකපිට අත්අඩංගුවට ගත්තාද යන්න ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇත.

මොවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට ඔවුන් වක්‍රව කියා තිබුණේ මොවුන් සන්තකයේ ගංජා තිබී අත්අඩංගුවට ගත් බවය. නමුත් මොවුන් දුම්වැටියක් සමඟ අත්අඩංගුවට ගත් බව දිගින් දිගටම පොලිසියට ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම මොවුන් නිකරුණේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ හිතවතුන් කිහිප දෙනෙකු විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට දන්වා තිබු අතර එහි නිලධාරියෙකු විසින් ගණේමුල්ල පොලිසියට කථා කර මේ පිලිබඳ විමසු අවස්ථාවේ කියා ඇත්තේ සැකපිට ගෙනා බවත් ඔවුන් එදිනම ඇප මත නිදහස් කරන බවය.

දුම්වැටියක් රැගෙන යාමේ වරදට මොවුන්ට නිකරුණේ නඩුවක් ගොනු වී තිබුණේ එලෙසිනි.

ඊයේ දින අත්අඩංගුවට ගැනීම් තුලද ගැටලුවක් ඇත්තේය.  ඊයේ දිනය පුරාම බස්නාහිර පළාතේ කොළඹ ඇතුලු සෑම ප්‍රදේශයකටම නොකඩවා වැසි ඇද වැටෙමින් තිබුණි. මෙම ලියුම්කරුට ඊයේ රාත්‍රියේ  කලුතර, කොළඹ, ගම්පහ යන ප්‍රදේශ වල පුද්ගලික කරුණක් මත ගමන් කිරීමට සිදු වු අතර මහා මාර්ගයේ කිසිදු තැනක මහ වැස්සේ නම් පොලිස් නිලධාරීන් විශේෂ මෙහෙයුම් කරන අයුරු ඇස ගැටුනේ නැත. අවම වශයෙන් පාර හැසිරවීමටවත් පොලිස් නිලධාරියෙකු කලුතර සිට කොළඹ හරහා ගම්පහට ගමන් කරනතුරු සිටියේ නැත. එසේනම් මේ කියනා ආකාරයෙන් විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට පත් වුයේ කෙසේද යන්න ගැඹුරට සාකච්ඡා කළ යුතු කරුණකි. සැකපිට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ට චෝදනා ගොනු කිරිමට දැන් වර්තමාන පොලිසිය පියවර ගනිමින් සිටින බවද පෙනෙන්නට ඇත.

මේ අතර තවත් ආකාරයකින් පුද්ගලයින් අත්අඩංගුවට ගන්න උත්සහ කරන ක්‍රමයක් හෙළි විය. රාත්‍රියේ වාහන පදවන ඇතැම් රියදුරන් නිදිමත සෑදීම වළක්වා ගැනීමට රාත්‍රී කඩ වෙත ගොස් දුම්වැටි පානය කරන අවස්ථා එමටය. මෙවැනි පුද්ගලයින්ව ඇතැම් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්න උත්සහ කරන බව අයිතිය වෙබ් අඩවිය වෙත වාර්තා විය. මෙම සිදුවීමට මුහුණ දුන් රියදුරෙකු කියා සිටියේ ඔහු  එම අවස්ථාවේ පොලිසීය වෙත ප්‍රසිද්ධියේම වැරැද්ද නිවැරැද්ද විමසා සිටීම නිසා ඉන් පොලිසීයට පසු බැසීමට සිදු වු බවය.

මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් තුලින් පොලීසිය අත්අඩංගුවට ගන්නා සැකකරුවන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහළ දමා ඉහළ නිලධාරීන්ට පෙන්වා සිටින්නේ ඉදිරියේදි නිල ඇඳුමට තරුවක් එකතු කර ගැනීමේ අදහසින් විය හැකිය. නමුත් මෙයින් ඔවුන් ජනතාව තුල අප්‍රසාදයට පත්වීම වැලැක්විය නොහැක.

-ශානිකා-

 

Social Sharing
නවතම