හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට ඇද දමයි!

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සමග එකතු වී හිඟුරක්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ ජල පිරිපහදුව ප්‍රමිතියෙන් ඉතා බාල ලෙස  ඉදි කිරීම නිසා හිගුරක්ගොඩ මූලික රෝහලේ ඉදි කළ වකුගඩු රෝගීන් සදහා වූ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය වසා දමා ඇතැයි ද ඒ  නිසා එයින් දිනපතා රුධිරය මාරු කර ගැනීමට පැමිණෙන රෝගීන් බලවත් සේ අසරණව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන බවද  හිගුරක්ගොඩ වකුගඩු රෝගීහූ කියති.

එයින් ප්‍රතිකාර ගත් රොගීන් පවසන්නේ දින පතා රුධිරය මාරු කර ගැනීම සදහා සෞඛ්‍යමය උපදෙස් මත ආසන්නම ස්ථානයක මෙසේ ලේ මාරු කරන ස්ථානයක් 2015 දී  ඉදි කර දුන්නත් නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා හා වංචා නිසා රෝගීන් 35ක් පමණ මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටින බවයි. රෝගීන් කොටස් දෙකකට බෙදා කොටසක් මැදිරිගිරියටත් තවත් කොටසක් පොලොන්නරුවටත් යොමු කර තිබුනත් එම ස්ථානවලදී රුධිරය මාරු කර ගැනීමට දින 6ක් 7ක් ගත වන බවද රෝගීන් පෙන්වා දෙති.එය තම ජීවිතවලට බලවත් තර්ජනයක් වී තිබෙන බව ද ඔවුහු මැසිවිලි නගති.

මෙම රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය උතුරු මැද පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා විසින් 2015 වසරේ දී හිගුරක්ගොඩ, මැදිරිගිරිය යන රෝහල්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල් 03කත් වකුගඩු රෝගීන් සදහා රුධිරය කාන්දුකරණ කටයුතු පහසුවෙන් කර ගැනීම සදහා රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 05ක් පිහි‍ටු වීමේ ව්‍යාරුතිය මගින් සිදු කර ඇති අතර හිගුරක්ගොඩ රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ අවශ්‍යතා සදහා ජල පිරිපහදුවක් ඉදි කිරීමේ දී නියමිත තාක්ෂණික ප්‍රමිතීන්ගෙන් තොරව ඉදි කිරීම නිසා මෙසේ හිගුරක්ගොඩ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථනය රෝගී සත්කාරක සේවා සිදු කිරීමට නිහැකිව බිද වැටී ඇතැයි මේ පිළිබදව විමසීමේ දී වෛද්‍යවරු ද අනාවරණය කළ හ.

වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල  පවසන්නේ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හිගුරක්ගොඩ රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයේ සවි කළ ජල පිරිපහදුව  (RO Plant) නියමිත තාක්ෂණික හා සෞඛ්‍ය මය ප්‍රමිතියකින් තොර බව ජීව රසායන ඉන්ජිනේරුවන් නිර්දේශ කර තිබිය දීත් තමාට හිතවත් සමාගමකින් බාල වර්ගයේ ජල පිරිපහදුවක් (RO Plant) සවි කළ බවයි.

“රුධිර කාන්දුකරණයට අවශ්‍ය පිරිසිදු ජලය ලබා ගැනීමට ආර්.ඕ.ප්ලාන්ට් සවි කරන්න ඕන.2015 දී හිගුරක්ගොඩ,මැදිරිගිරිය යන රෝහල්වලට රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 2ක් ලැබුණා.උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට වුවමනා විදිහට තමයි මේවායෙහි RO Plant සවි කළේ.මේ සමාගම ප්‍රමිතියෙන් බාල RO Plant ලබාදෙන බවට බයෝ මැකැනිකල් ඉන්ජිනියර් විසින් පරික්ෂාකර බලා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබුණත් මෙම RO Plant සවි කරන්න එපා ඒවා ප්‍රමිතියෙන් බාලයි කියලා.ඔහු අත්තනෝමතික විදිහට මේ RO Plant සවිකළා. අවශ්‍ය තාක්ෂණික දැනුම නැති නැති සමාගමකින් තමයි මේ RO Plant ලබාගෙන තියෙන්නේ. දැන් වැඩ නෑ. මාස 06ක් තිස්සේ අසරණ වකුගඩු රෝගීන් 35ක් විතර ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා.මේ රෝගීන් සියලු දෙනාම අඩුම තරමේ දවස්  දෙකකට තුනකට සැරයක් රුධිර කාන්දුකරණය කර ගත යුතුයි.නමුත් පොලොන්නරුව හා මැදිරිගිරිය රෝහල්වල රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානවලින් සේවා ලබා ගන්න වෙලා. දින 5කට 6 කට සැරයක් තමයි දැන් රුධිරය මාරුකර ගන්නේ.මේ රෝගීන්ගේ ජීවිත බරපතල අවදානමක තියෙන්නේ.”වෛද්‍යවරු කියති.

මෙසේ හිගුරක්ගොඩ රෝහලේ ඇදන් 05කින් යුත් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය වසා දමා රෝගීන් අසරණව සිටිය දීත් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හිගුරක්ගොඩ රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු නොකර ඒ වෙනුවට තඹුත්තේගම රෝහලට අලුතින් රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සදහා අවශ්‍ය කිසිදු යටිතල පහසුකමක් සකස් නොකර මෙය සිදු කිරීමට යන බවත් වෛද්‍යවරු චෝදනා කරති. කළ යුතු වන්නේ හිගුරක්ගොඩ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත් කිරීම සදහා ප්‍රමුඛතාව දියයුතු බව ද වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ පිළිබදව විමසීම සදහා උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාළිත බණ්ඩාර මහතාගෙන් විමසීමට අප ගත් සියලු උත්සහයන් ආසාර්ථක විය. ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ අතර මේ පිළිබදව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවර්ධන කමි‍ටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගෙන් විමසීමක් කළෙමු.

“මේ හිගුරක්ගොඩ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය වසා දැමීමට සිද්ධ වෙලා තියෙන්නේ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ක්‍රියා කලාපය නිසා. ජල සම්පාදන මණ්ඩලයත් එක්ක එකතු වෙලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයා මේ ප්‍රමිතියෙන් බාල RO Plant එකක් සවි කරලා තියෙන නිසා තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තියෙන්නේ. මේ ගැන විමසන්න මම දුරකථන්යෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට කිහිප අවස්ථාවක් ම උත්සාහ කළත් සම්බන්ධ කර ගන්න බැරි වුණා. මම මේ ගැන සෞඛ්‍ය ඇමතිතුමිය සමග සාකච්ඡා කරලා කඩිනමින් හිගුරක්ගොඩ රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථානය විවෘත කරන්න කටයුතු කරනවා.මෙතන වංචාවක්, දූෂණයක් සිදු වී තිබෙනවා නම් ඒ ගැන වහාම පරික්ෂණයක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම