ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා  ප්‍රගීත්ගේ   බිරිඳගෙන්   සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ.

සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා  දස වසරකට අධික කාලයක්  තිස්සේ සිදු කරන අරගලයේ  සැනසුම්දායකම  දිනය සාක්ෂි ලබා දුන් දවස වූ බවයි  ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පවසන්නේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර  දින 3873ක් ගත වෙද්දී, ඔහුගේ  අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජය විසින් ගොනු කරන ලද නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස අගෝස්තු 2 බදාදා  තමා සාක්ෂි ලබා දුන් බව ඇය වැඩි දුරටත් සඳහන් කරන්නීය.

“ප්‍රගීත් නොමැතිව ගෙවීගිය දින 3873 ක වඩාත් තෘප්තිමත් දිනය ඊයේ විය. මන්ද යත් ඔහු අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජය විසින් ගොනු කරන ලද නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස මා කැඳවනු ලැබූ බැවිනි. පැරණි සත්‍යයන් පිළිබඳ නව ආලෝකයක් හෙළි කිරීමට මට අවස්ථාව ලබා දුන් සැමට ස්තූතියි,” යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කළ පනිවිඩයක සඳහන්ව තිබේ.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ 2019 වසරේ  ගොනු කළ  නඩුවේ සාක්ෂි ලබා දීම වෙනුවෙන් 2020 පෙබරවාරි 20 දින පැමිණෙන ලෙස තමන්ට  පළමු වරට  සිතාසි නිකුත් කර තිබුනත්  රටේ පැවැති වසංගත තත්වය හමුවේ එය සැප්තැම්බර් 2 දක්වා කල් ගිය බව ඇය වැඩි දුරටත් පෙන්වා දෙන්නීය.

මිනී මැරීම ඇතුළුව චෝදනා 17 ක් යටතේ සිදු කෙරෙන නඩු විභාගය සඳහා හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් නම දෙනකුට එරෙහිව 2019 නොවැම්බරයේ අධි චෝදනා භාරදී තිබේ.

ලුතිනන් කර්නල් ටී එරන්ත පිරීස්, ලුතිනන් කර්නල් ෂම්මි අර්ජුන් කුමාරරත්න, ලුතිනන් යාපා මුදියන්සේලාගේ චමින්ද කුමාර අබේරත්න, මාණ්ඩලික සැරයන්වරුන් වන රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, සෙනෙවිරත්න මුදියන්සේලාගේ කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම් නොහොත් රවි, සාජන් මේජර් වඩුගෙදර විනි ප්‍රියන්ත ඩිලංජන් උපසේන නොහොත් සුරේෂ්, සැරයන් දන්ගහ ගමරාලලාගේ තරංග ප්‍රසාද් ගමගේ, කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සෙලාගේ රවීන්ද්‍ර රූපසිංහ නොහොත් රංජි චුදිතයෝ වෙති.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ  සැප්තැම්බර් 7 දා තමන්   නැවතත්  සාක්ෂි ලබා දීමට   නියමිත බව සන්ධ්‍යා එක්නැලිගොඩ සදහන් කරයි.

2010 ජනවාරි 24 දා කොළඹට ආසන්නයේදී පැහැරගෙන ගොස් තිබු අතර ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ ජනවාරි 25 වනදා හෝමාගම පොලීසියට පැමිනිලි කර තිබුනි.

එම පැමිණිල්ලට අනුව හෝමාගම පොලීසිය විසින් බී වාර්තාවක් ගොනු කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබු  අතර  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්ධයෙන්  වන පරීක්ෂණ කටයුතු 2015 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති වරයාට වාර්තා කර ඇති තොරතුරු අනුව  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීම සම්බන්ධයෙන් වන නඩුව  ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග කිරීමට නීතිපතිවරයා තීන්දු කර ඇත්තේ  2019 වසරේ ජනවාරි 24 දිනය.

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් උසාවියේ ගොනු කර ඇති දකුණේ ප්‍රසිද්ධියට පත් නඩු අධිකරණමය බලයක් නොමැති  ජනාධිපති කොමිසමක් හරහා යට ගැසීමට උත්සාහ දරන බවට චෝදනා කරන මානව හිමිකම් සංවිධාන නීතියේ ආධිපත්‍ය  රකින ලෙස ඉල්ලමින් නීතිපතිවරයාටත්, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි වෙතත්  අගෝස්තු 28 සිකුරාදා පෙත්සමක් භාර දී තිබුනි.

පෙත්සම භාර දීමේ අවස්ථාවට එක්ව සිටි මානව හිමිකමි ක්‍රියාකාරිනී,  සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍යවේදීන් හමුවේ  නීතිපතිවරයාට  සහ අධිකරණ අමාත්‍යවරයාට  පෙන්වා දී තිබුනේ   රජය විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩු වල විත්තිකරුවන් දේශපාලන පළි ගැනී‍ම් සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවට  යාම තුළ එම නඩු වලට අගතියක් සිදු වන බවයි.

“අවුරුදු ගණන් යුක්තිය වෙනුවෙන් මේ පොළවේ හැපි හැපි හිටපු මේ වින්දිතයන්ට මොකද වෙන්නේ? අනාගතයේ අපරාධවලට ගොදුරු වන වින්දිතයන්ගේ ආරක්ෂාව කවුද බලන්නේ? වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නේ කවුද? ඒවට ඔබගේ වගකීම මැදිහත්වීම. කරුණාකර අපරාධකරුවන් ආරක්ෂා කරන්න එපා. අපරාධ කරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න. ඒවා ඔබගේ වගකීම කියන එක මම පැහැදිලිවම මතක් කරනවා. කරුණාකර ඒ වගකීම වෙනුවෙන් පෙනී සිටින්න කියලා,” යි සන්ධ්‍යා එක්නැලිගොඩ නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් එහිදී  වැඩි දුරටත් ඉල්ලා තිබුනි.

Social Sharing
නවතම