දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!

දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ  සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන් විසින් දෙවැනි රාජ්‍ය භාෂාවේ ප‍්‍රවීණතාව සම්පූර්ණ කළ යුතු අතර සිංහල මාධ්‍යයෙන් රාජ්‍ය සේවයට ඇතුළත් වූ අය දෙමළ භාෂා ප‍්‍රවීණතාවත්, දෙමළ භාෂා මාධ්‍යයෙන් රාජ්‍ය සේවයට ඇතුළත් වූ අය සිංහල භාෂා ප‍්‍රවීණතාවත් තම තනතුරට අදාළ වන මට්ටමට ලබා ගත යුතුය.

ඒ සදහා   2020 ජුනි  30 දක්වා සියලූ රාජ්‍ය සේවකයන්ට සහනයක් ලබා දී තිබු නමුත් මේ වන විට සහන කාලය අවසන් බැවින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් දෙවැනි භාෂා ප‍්‍රවීණතාවය ලබා නොගැනීම මත අත්හිටුවා ඇති බවයි ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ.

දෙවැනි භාෂා ප‍්‍රවීණතාවය ලබා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයන්ට ගැටලූ පැවතීම හේතුවෙන් රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති හා ඉකුත් රජයේ භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්  අතර සාකච්ඡා  ගණනාවක් පැවති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ සැප්තැම්බර් 2 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම සාකච්ඡාවල  එකඟතාවය පරිදි දෙවන භාෂා ප‍්‍රවීණතාවයට අදාළව රාජ්‍ය සේවකයන්ට සහන සැලසීමට කැබිනට් පත්‍රිකාවක්  ඉදිරිපත් කළ අතර, එම කැබිනට්   පත්‍රිකාව  හා අදාළ චක‍්‍රලේඛය නිකුත් වන තුරු  රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛක් මගින්  ජුනි 30  දක්වා සහන කාලයක් ලබා දුන් බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

එම සහන කාලය මේ වන විට අවසන්ව ඇති අතර අදාළ චක‍්‍රලේඛය මේ දක්වා නිකුත් කර නැති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සම කැදවුම්කරුවන් වන රවී කුමුදේශ්, චින්තක බණ්ඩාර හා ජෝසප් ස්ටාලින් විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත්  සඳහන්ය.

වර්තමාන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්  සමග ද  ඒ පිළිබදව සාකච්ඡා කළ අතර, එහිදී කඩිනමින් චක‍්‍රලේඛය නිකුත් කරන බව ප‍්‍රකාශ වුවත් එම ඉල්ලීම ද ඉටු වී නැති බව වෘත්තිය සමිති නායකයෝ පෙන්වා දෙති.

මේ තත්වය තුළ 2020 ජුනි 30 දිනෙන් පසු දෙවැනි භාෂා ප‍්‍රවීණතාවය සම්පූර්ණ නොකිරීම මත රජයේ සේවකයන් විශාල පිරිසකගේ වැටුප් වර්ධක ලබාදීම නතර කර ඇති බව ඔවුහු වැඩි දුරටත් අවධාරණය කරති.

මේ හේතුවෙන් රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් දැඩි පීඩාවකට ලක්ව සිටින , රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාව ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින ගැටලු කිසිවකට බලධාරීන්   විසඳුම් ලබාදී නොමැති බව පෙන්වා දෙන වෘත්තීය සමිති නායකයන් රජයෙන් ඉල්ලා සිටින්නේ  රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාව සම්බන්ධයෙන් සහන සැලසීමට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීම හෝ එතෙක් සහන කාලය දීර්ඝ කිරීමට කඩිනමින් කටයුතු යොදන ලෙසයි.

Social Sharing
නවතම