වෙබ් මාධ්‍යවේදියා 14 තෙක් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අද දින කොළඹ මහේසත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරැව ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ අංශය විසින් මෙම වෙබ් මාධ්‍යවේදියා තම නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන තිබුන අතර, අධිකරණ කටයුතු වලට බාධා වන අයුරින් වෙබ් අඩිවියක ප්‍රවෘත්ති පළකලේ යැයි ඔහුට ඒරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් theleader.lk වෙබ් අඩවිය කළ විමසීමක දී කියා ඇත්තේ, lankanewsweb.org වෙබ් අඩවියේ පලවී ඇති පුවතක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

”පාස්කු ප්‍රහාරයේ සැකකාර නිතීඥ හිජාස්ට ඇප ගන්න හොර පාරක් කපයි… ලක්ෂ 50කට අභියාචනාධිකරණයේ දොර ඇරෙද්දී විනිසුරුවරුන්ටත් සල්ලි…. ඇප දිම පසුපස බලවත් බළල් අතක්” යන ශීර්ෂයෙන් යුතුව lankanewsweb.org වෙබ් අඩවියේ පලවී තිබු පුවත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති බවත්, ඒ වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා වෙබ් අඩවියේ මාධ්‍යවේදියා ගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ යැයි ඒම වෙබ් අඩවිය පවසයි.

Social Sharing
නවතම