13 අහෝසි කිරීම ගැන තාම තීරණයක් නැහැ!

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිලිබඳ තවමත් අමාත්‍ය මණ්ඩලය තුල සාකච්ඡා වී නොමැති බව නව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී  මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ  මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේය. ඊයේ  (29)  දින අලි සබ්‍රී  මහතා මල්වතු පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක ස්වාමීන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක ස්වාමීන් වහන්සේ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පුජ්‍ය මහානායක නාපාන පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක නව රජයේ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් අධිකරණ පද්ධතිය තුළ සිදු කිරීමට නියමිත සංශෝධන හා වෙනස්කම් පිළිබදව උන් වහන්සේලා දැනුවත් කරමින් උන් වහන්සේලාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කළේය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා සදහන් කළේ අධිකරණ පද්ධතිය තුළ සිදු කිරීමට නියමිත වෙනස් කම් හා නව සංශෝධන පිළිබදව මහා සංඝරත්නයේ අදහස් ලබා ගැනීමට සහ උන් වහන්සේලා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනාට එකට ජීවත් විය හැකි වටපිටාවක් ඇති කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් පවතින නඩු විසඳීම සදහා වෙනම අධිකරණයක් පිහිටුවීම පිළිබදව නායක ස්වාමීන් වහන්සේලා අදහස් පළ කල බවත් ඒ පිළිබදව සාකච්ඡා කරන බවත් අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ‍ගෙන එන බවත් පසුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව සදහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ මත් උවදුරෙන් දුෂණයෙන් තොර රටක් බිහි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සදහා කටයුතු කරන්නේ ද යනුවෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ පිළිබදව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා වී නොමැති බවයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සිදු වන්නේ සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසුව බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

ඒ සදහා අභියෝග රාශියක් බවතින බවත් ඒ සියල්ල ජය ගෙන ඉදිරියට යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

-ශානිකා-

Social Sharing
නවතම