පොලීසියේ වෙඩි තැබීම් හා ජීවත් වීමේ අයිතිය

පහුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ කළුතර පොලිස් කොට්ඨාශයේ පොලීසියකට ගොස් සිටි යුද හමුදා සෙබලෙකුට වෙඩි වැදී රෝහල් ගත කීරීමේ පුවතකි. ඔහුට වෙඩි වැදී තිබුනේ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ඉබේ පත්තු වීම නිසාය.

නමුත් මාතර නගරයේ මහදවල් නිලේකා ජුවලරිය කොල්ල කෑ සිදුවීම අපට අමතක නැත. එහිදී කොල්ලය වැළකීමට මාතර පොලිසියෙන් ගිය පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔහුට ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු විය. එහෙත් දැන් සිටින පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි ඉබේ පත්තු වන බවක් පෙනෙන්නට ඇත. එමෙන්ම කාලයක් යටපත්ව තිබු සැකකරුවන් ආයුධ පෙන්වීමට යාම්, තනි පුද්ගලයෙකු කණ්ඩායමකට පහර දීම් ආදිය  නැවත පොලිසියේ රාජකාරී කොටසක් බවට පත් වෙන අයුරුද අපට පෙනෙන්ට ඇත.

මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ අද (29) අලුයමය. ඒ රණාලේ සමයංගේ සමීපතමයෙක් වු ඉඳුනිල් වජිරකුමාර හෙවත් ඉන්ද්‍රා පොලිස් අත්අඩංගුවේ සිටියදි බේරි යාමට පොලිස් ජිප් රථය පෙරළිමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය සිදු කළ වෙඩි තැබීමකිනි. පොලිසිය කියන්නේ එසේය.

ඌරු ජුවා ඇඹුල්ගම – ජල්තර ප්‍රදේශයේ ජනතාවගෙන් කප්පම් ගනිද්දි, වැලි තොටුපලේ ඒකාධිකාරිත්වයක් පවත්වාගෙන යමින් කප්පම් ගනිද්දි ඉන්ද්‍රා ඊට මැදිහත් වූ අයුරු අප අසා ඇත්තෙමු. නමුත් ඔහු දැන් සිටින්නේ පොලිසියෙන් වෙඩි කෑ අපරාධකරුවන්ගේ ලැයිත්තුවේය.

මොහු ඝාතනය කිරීමට ටික දිනකට ඉහතදී අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු බව කියන ගම්පහ, මල්වතුහිරිපිටියේ පදිංචි චමින්ද එදිරිසූරිය නොහොත් චමියා ගම්පහදී පොලිස් වෙඩි පහරට ලක් වුයේ පහුගිය අගෝස්තු 23 දා අලුයමය. පොලිසියට ඔහු වෙඩි තැබීමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය එල්ල කළ වෙඩි පහරින් ඔහු මිය ගිය බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම අංගොඩ ලොක්කාගේ ප්‍රධානතම ගෝලයෙක් මෙන්ම වෙඩික්කරු වූ අසිත ප්‍රේමතිලක නොහොත් සොල්ටා පොලිස් අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. ඒ ජුනි 17 දාය. ඔහු අගොස්තු 11 දා පොලිසියෙන් වෙඩි කෑවේ පොලිස් අත්අඩංගුවේ සිටියදීය.

මේ අතර අපරාධකරුවෙකු නොවුනු පුද්ගලයෙකුටද පොලිසියේ වෙඩි කෑමට සිදු විය. 2020 ජූලි 09 රාත්‍රි අඟුලාන පොලිසිය සිදු කළ මාර්ග බාධක සෝදිසිකයදී ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් හා බහින බස් වීමෙන් ධීවරයෙකුට වෙඩි තබා තිබුණි. මින් බරපතල තුවාල ලැබු අමිත් කරුණාරත්න නම් ධීවරයා මිය ගියේය.

කැටවල සම්පත් නොහොත් 25 හැවිරිදි සංජීව සම්පත් පොලිස් වෙඩි පහරින් ඝාතනය වුයේ 2020 ජුනි 26 දාය. මොහුද ගණේමුල්ලේ සංජීවගේ ප්‍රබල අපරාධකරුවෙකු බව පොලිසිය පවසයි. පොලිස් අණ නොතකා යතුරු පැදියෙන් පලා යාමට උත්සහ කළ අවස්ථාවේ මොහුට පොලිසියෙන් වෙඩි තබා තිබුණි.

මේ අතර මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේදී පොලීසිය සමඟ සිදු කළ වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි නායකයෙකුගේ ප්‍රබල සාමාජිකයෙකු බව කියන රාජා විමලධර්ම නොහොත් ගොනාකෝවිලේ රාජා 2020 ජුනි 07 දා මිය ගියේය.

මේ මා සඳහන් කළේ ගත වු මාස තුනක වැනි කෙටි කාලය තුල පමණක් පොලිසිය සිදු කළ වෙඩි තැබීම් වලින් මිය ගිය පුද්ගලයින් කිහිප දෙනෙකු පිලිබඳවය. .

විශේෂයෙන්ම අපරාධකරුවන් පොලිස් වෙඩි පහරින් මිය ගිය බවට පොලිසිය පවසන අවස්ථා වලදී නිවැරදි තොරතුරක් පොලිස් මූලස්ථානයෙන් නිකුත් වන්නේ නැත. ඔවුන් අත්අඩංගුවට ගත්තේ කොහේදීද?, මොකටද?, වෙඩි තිබ්බේ කොහේදීද? වෙඩි තියන්න මොකද්ද වුනේ? කියන කරුණු සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ලැබෙන්නේ නැත. නමුත් ගමක පොඩි මිනිහෙක් අත්අඩංගුවට ගතහොත් එම පුද්ගලයාගේ සියලුම පැටිකිරිය පොලිසිය මාධ්‍යයට ලබා දෙයි.

පොලිස් ආඥා පනතේ පොලිස් නීතියට අනුව පොලිස් නිලධාරින්ට සිවිල් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ නොහැකිය. ඔවුන්ට හැකියාව ඇත්තේ දණහිසෙන් පහළට වෙඩි තැබීමට පමණි.

එසේ නම් දැන් ක්‍රියාත්මක වන්නේ එකම රටක නීති දෙකක් නොවන්නේද? ඔවුන්ගේ මීළඟ ඉලක්කය ?

-ශානිකා-

Social Sharing
නවතම