කරත්ත රෝදය සහ පොලිසීයේ වැටලීම්!

ජනමාධ්‍ය වලින් අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ දිවයිනේ සතර දෙසින් පොලිසීයේ කරන වැටලීම්ය.  මේ වැටලීම් මේ වන විට වැඩි වී තිබේ. ඒ පොලිසිය සිදු කරන මෙහෙයුම් සංඛ්‍යාව ඉහළ දමා ඇති නිසාය.

මේ වැටලීම් අතර කොළඹ අවට තදාසන්නව සිදු කරන වැටලීම් වලදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් බෝහෝමයක් බැර වන්නේ “අංගොඩ ලොක්කා”ගේ ගිණුමට බව පෙනී යයි.  මේ වැටලීම් දකින විට සිතෙන්නේ අංගොඩ ලොක්කා මේ තරම් සංවිධානාත්මක වන තුරු පොලීසිය නිදාගෙන සිටියාද යන්නය.

මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට ගත නොහැකිව ඩුබායි රාජ්‍යයේ සිටිදී මෙරට කොළඹ අවට වැටලීම් කර අත්අඩංගුවට ගන්නා බොහෝ මත්ද්‍රව්‍ය, අපරාධ හා සැකකරුවන් අයිති වුයේ මධුෂ්ගේ ගිණුමටය. ඔහු අත්අඩංගුවට ගත් පසුව ටික කාලයක් යනතුරුද එම තත්ත්වය පැවතුණි. මේවාට ජනමාධ්‍ය තුලින්ද විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්හ. මූ අපේ එකෙක් නෙමේ කීමට මාකඳුරේ මධුෂ්ට එළියට පැමිණීමට නොහැකිය. ඒ නිසා ඉන් වාසිය හිමිවන්නේ පොලීසියටය.

දැන් උදා වී ඇත්තේ අංගොඩ ලොක්කා ප්‍රසිද්ධ වන කාලයය. පොලීසියද අල්ලන සියලු දේවල් ටිකක් හෝ අංගොඩ ලොක්කාගේ ගිණුමට දමා පෙන්වීමට කැමතිය. එවිට ඉහළින් ලකුණු දමා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වේ.

ප්‍රබල සැකකරුවෙක් හැර අත්අඩංගුවට ගන්නා සෙසු සැකකරුවන් ඔවුන්ට  ඇති අනවර්ථ නාම වලින් හැඳින්වීමට පහුගිය රජය සමයේ පොලිසිය වැලකී සිටියහ. නමුත් මේ වන විට එම තත්ත්වයෙන් මීදි පොලීසිය හන්දියක්, හන්දියක් ගානේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට නම් පටබැඳීමටත්, ඒවා මාධ්‍යට දී ප්‍රසිද්ධ කිරීමටත් ක්‍රියා කරමින් සිටියි.

උදෑසන පුවත්පතක් අතට ගත් විට පුවත්පත පුරා ඇත්තේ විවිධ නම් වලින් අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ පැටිකිරිය. හැට්ටයා, අස්වර්, යකඩයා, සොල්ටා ආදී ඔවුන්ට නම් රැසකි. මාධ්‍යද මේවාට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ කියවන්නාට කුණු රසයක්ද සමඟිනි.

ඉදිරියේදි අංගොඩ ලොක්කා යටපත්ව වෙනත් පාතාලයෙකුගේ නමක් උඩට පැමිණයහොත් පොලීසිය ඊළඟට වැටලීම් කර අත්අඩංගුවට ගන්නා සියලු දේද බැර වන්නේ ඔහුගේ ගිණුමටය. මෙය කරත්ත රෝදයක් මෙන් කැරකැවෙන චක්‍රයකි.

-ශානිකා-

Social Sharing
නවතම