හන්තානේ ධම්ම ගවේශීගෙන් ගම්මුන්ට ගුටි පූජාවක්..!

මාතර දෙණියාය මොරවක වතුයාය දැන් අභාවයට ගිහිං කිව්වොත් හරි. තේ කර්මාන්ත ශාලාවත් වහලා දාලා. තේ වත්තත් දැන් විනාශ වෙලා. වතු ජනසතු ව්‍යාපාරයේ අවුල මොරවක වතුයාය අවසන් කරලා තිබෙන්නේ එහෙම. ඒත් මේ වතුවලට කම්කරුවන් විදිහට ගෙනාපු දකුණු ඉන්දියානු වතුකම්කරුවන්ගෙන් පැවතගෙන එන මිනිස්සු තවමත් මොරවක වතුයායේ ඉන්නවා. ඔවුන් තවමත් සිය ජීවිතය ගෙනියන්නේ වතු ලයින් කාමරවල. මේ ආර්ථික අහේනියත් එක්ක මේ මිනිස්සු කබලෙන් ළිපට වැටිලා. ඒ අහු අස්සේ කොරේ පිටට මරේ කියලා මේ වත්ත භාරගත්තාය කියන බෞද්ධ භික්ෂුවක් නිසා දැන් මේ අසරණයන්ට යන එනමන් නැති තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ.

මේ වතුයායේ ජීවත් වෙන මිනිසුන් කියන විදිහට මේ වත්ත මීට අවුරුදු දෙකකට කළින් ඉදන් සිය භාරයට අරගෙන ඉන්නේ අංක 137 ඩි 40, සියබලාපේ දකුණ බියගම පිහිටි ධම්ම විහාරයේ වැඩ වාසය කරනවා කියන, හන්තානයේ ධම්ම ගවේශී කියලා චීවරධාරියෙක්. වත්තේ තැන තැන පිළිම අටවගෙන ජීවත් වෙන මේ චීවරධාරියා, පසුගිය 24 වෙනිදා උදේ මේ වතුයායේ ජීවත් වෙන අහිංසකයන්ගේ කෙසෙල් ගස් එකපිට එක කපලා බිම හෙළන්න මැරයෝ දෙන්නෙක් යොදවලා තියෙනවා. මේ මැරයන්ගේ නම් තම‍යි එරංග සහ සුධීර. මෙම මැරයන් නිදැල්ලේ රිසි සේ වත්තපුරා ඇවිදිමින් මේ මිනිස්සු දුක් මහංසියෙන් වැවූ කෙසෙල් පඳුරු බිම හෙළන හැටි වතුයායේ පදිංචිකරුවන් වීඩියෝ කරලා තිබෙනවා. ඒ වීඩියෝවන් අයිතිය සතුයි.

මේ කෙසෙල් ගස් සංහාරයට විරුද්ධ වෙන අහිංසකයන්ට මේ මැරයන් දෙදෙනා ප්‍රහාරයක් එල්ල කරලා ඔවුන්ට සිය පිහි මඟින් තුවාල සිදුකොට තිබෙනවා. වතුයායේ ජීවත් වෙන පීඩාවට පත් ජනතාව කියන විදිහට එක අම්මා කෙනෙක් බිම දාලා පාගලා තිබෙනවා. ඇය දැන් ප්‍රථිකාර සඳහා මොරවක රජයේ රෝහල වෙත ඇතුල් කරලා තිබෙනවා. මේ ප්‍රහාරයෙන් මේ අම්මා ඇතුලුව දෙදෙනෙක් මොරවක රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නවා කියලා තම‍යි අයිතිය වෙත කරුණු වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාරය සිදුවන්නේ 24 දා උදෑසන 10ට විතර. ගම්මුන් ඒ මොහොතේම මේ පිළිබඳව මොරවක පොලීසියට පැමිණිලි කළත් අද (25) වෙනතුරු මොරවක පොලීසිය මේ මැරයන්ට විරුද්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. එයට හේතුව මේ හාමුදුරුවන් සතුයැයි කියන දේශපාලන බලපුලුවන්කාරකම. මේ ලිපිය ලියන මොහොත වනවිට ගම්මුන්ගේ කෙසෙල් වගාවට හානිකළ මැර වගාපාළුවන් දෙදෙනාත් රෝහල් ගතවෙලා තිබෙනවා. ඒ වත්තේ භාරකරු කියන ධර්ම ගවේශීගේ ගවේශනයේ ප්‍රථිපලයක් විදිහට වෙන්න පුලුවන්.

අපගේ ප්‍රශ්නය මෙවැනි අභාවයට යමින් තිබෙන වතුයායක් භික්ෂුවක් සතුවෙන්නේ කුමන පදනමකින්ද යන්නයි. දෙවෙනි ප්‍රශ්නය, දැන් මේ වතුයායේ ජීවත් වෙන අහිංසක කම්කරු ජනතාවට සිදුවන්නේ කුමක්ද යන්නයි. ඔවුන්ට මෙතනින් එහාට මේ වතුයාය තුළ ජීවත් වෙන්නට අයිතියක් නැතිද? පොලීසිය සහ වඟකිවයුතු ආයතන සහ ප්‍රධානීන් මේ පිළිබඳව සිය අවධානය වහාම යොමුකර යුතුය. වතුකම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මේ පිළිබඳව සිය අවධානය යොමුකළ යුතුය.

Social Sharing
නවතම විශේෂාංග