සිදුරක් පමණක් නොවේය ගැහැණිය..!

-සුහර්ෂිණී ධර්මරත්න-

වැඩිහිටි චිත්‍රපට කර්මාන්තයට අයත් යැයි කියන sex video ගැන කතිකාවත අලුත් වුනේ මියා කලිෆා, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආරාධිත දේශනයකට සහභාගි වීමෙන් අනතුරුවය. ඒ සඳහා ආරාධනය ලැබිය යුත්තේ තවමත් එම කර්මාන්තයේ යෙදෙන කාන්තාවක ට බවද, එසේ නොකරන්නට හේතුව, වික්ටෝරියානු සදාචාරය, කරපින්නා ගෙන සිටීම බවද, අදහස් කරන ලද ලිපියක් කියවන්නට ලැබිණි. ඒ පළ කරන අදහස තුළ යම් සත්‍යතාවයක් තිබෙන බව පිළිගන්නට සිදුවේ.

එහෙත් “run ” ( දුවන්න ) යැයි ඈ කියන පණිවිඩය තුළ සැඟවුණු කතාවක් ඇතැයි මට හැඟේ. එවැනි වීඩියෝපටවල කාන්තාවන් වේදනාව දරාගෙන, අධි රංගනයක යෙදෙනවා යැයි හිතෙන්නේ මට විතරද? ගැහැණිය ට ලිංගික තෘප්තිය දැනෙන ආකාරය පිරිමින්ට වඩා වෙනස් යැයි සිතමි. ඒ සඳහා පූර්ව සූදානමේ සිට , ප්‍රවේශය දක්වාම, මානසික එකගතාවය මත පදනම් වූ හෝමෝනමය ක්‍රියාවලියක් සිදුවිය යුතුය. ගැහැණියකට අදාළ සංවේදනය දැනෙන්නට, එසේ ප්‍රවේශ වන කෝණය, ඉරියව්ව පවා වැදගත් ය.

ගැහැනියකට ගුද සංසර්ගය ඉතා වේදනාකාරී අත්දැකීමක් විය හැක. මෙවැනි වීඩියෝවකට පෙනී සිටින ගැහැණියක්, ඒ වෙනුවෙන්, දැඩි ශාරීරික වේදනාවක් අත්විඳිනවා වන්නට ඇත. ගුද මාර්ගයට හා යෝනි මාර්ගයට එකවර දෙදෙනකු ප්‍රවේශ වන වීඩියෝ පට දැක ඇත්තෙමි. ඒ ගැහැණියගේ දරා ගැනීමේ ශක්තිය පිළිබඳ මම පුදුම වෙමි. අනුකම්පා සහගත වෙමි.

නිදි පෙති බී දිවි නසා ගැනීමට තැත්කළ, වැඩිහිටි කාන්තාවක පැවසුවේ, මෙවැනි වීඩියෝ පට නරඹා, ඒ අනුව හැසිරෙන ඇගේ සැමියාගේ, හිරිහැරය හා අසීමිත වේදනාව දරා ගැනීමට නොහැකිව, දිවි නසා ගැනීමට තීරණය කළ බවයි. ඒ වන විට ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර, බාහිරෙන් බලන කල කිසිදු වරදක් නොපෙනෙන සමාජයේ පිළිගත් පුද්ගලයකු සමග විවාහ දිවියක් ගත කරමින් සිටියා ය.

මෙවැනි වීඩියෝවල බොහෝවිට, ගැහැනිය කැමරාව ඉදිරියේ අධි රංගනයක යෙදෙන බව, පසක් වේ. ඇතැම් විට ඒ සඳහා මත් ද්‍රව්‍ය හෝ වේදනාව සමනය කරන වෙනත් උපක්‍රම භාවිතා කරනවා දැයි නොදනිමි. සාමාන්‍ය තත්වයක් යටතේ සාමාන්‍ය ගැහැනියකට, එසේ කළ හැකිදැයි මට වැටහෙන්නේ නැත. ගැහැනියක් තුළට ප්‍රවේශ විය හැකි විවිධ ආකාරවලින් පුරුෂයෙකුට සතුටක් ලැබෙනවා වන්නට ඇත. එසේ වන්නේ ලිංගික අවයවවල පිහිටිමේ වෙනස නිසා වන්නට ඇත. එහෙත් එය ගැහැනියකට දැනෙන ආකාරය, පිළිබඳ කතිකාවක් අසන්නට ලැබී නැත.

ලිංගික අධ්‍යාපනය යනු ලිංගික කාර්යය පමණක් නොවේ. ආහාර ,නින්ද, මෛථූනය සියලුම සතුන්ට පොදු වූ සහජ ලක්ෂණ වේ. ඒවා ජීවයේ පැවැත්ම සඳහා වැඩදායී ක්‍රියාවන් වේ. එහෙත් මේ සියල්ල සඳහා සහයෝගය හා එකගතාවය වැදගත් වේ.. “සිදුරක් පමණක් නොවේය ගැහැණිය” ප්‍රකට කවියෙකු කියා ඇත්තේ එබැවිනි.

මෙවැනි වීඩියෝ පටවලින් යහපතක් පමණක් අපේක්ෂා කළ නොහැකි හේතුවක් තිබේ. එය තේරුම් ගත හැකි වන පරිදි සරලව මෙසේ කියමි. අන්නාසි ඉතා රසවත් කෑමක් වුවද, කට ඉදිරියේ කැමරාවක් ඇට වූ පමණින්, එය කටු පිටින් ගිල දැමීමට සිදුවීම, කවර නම් ඛේදවාචකයක්ද? මියා කලිෆා “දුවන්න” කීවේ
ඒ නිසා විය නොහැකිද?

උපුටාගැනීම – ෆේස්බුක්

 

 

Social Sharing
අවකාශය නවතම