කටු ගහලා විඳපු වේදනා සහ ඇත්ත අතර පරතරය..!

වෛද්‍ය සංකල්ප මාරසිංහ

නව ජන්ම ළදරුවකුගේ අතක ඡායා රූපයක් සමග, මාවත් ටැග් කරලා තිබ්බ පෝස්ට් එකකට උත්තරයක් ලියන්න ඕනෑ වෙලා හිටියත්, පහුගිය දවස් කීපයේ වැඩ වැඩි නිසා උත්තරයක් දෙන්න බැරිවුනා. දාලා තිබුණ පින්තූරෙයි ඒකට ලියලා තිබ්බ ඉතාම සංවේදී කවියයි එක්ක බොහෝ දෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා තම තමන්ගේ දරුවොන්ට “කටු ගහලා” විඳපු “වේදනා” ගැන.

මේ කමෙන්ට් වල රෝහල් රාජකාරී කරන හෙදියන් සහ වෛද්‍යවරුන්ට (සුපුරුදු ලෙස) චෝදනාත්මක ස්වරයේ අවලාද තිබුණත්, ඒවාට ප්‍රතිචාර නොදක්වා යම්කිසි දෙයක් දැනුවත් කරන්න කැමතියි.

වසර පහළවක් නව ජන්ම ළඳරු ඒකක වල සේවය කර ඇති පළපුරුද්ද මත පහත දේවල් සඳහන් කරන්න කැමතියි.

1. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව පදනම් වෙලා තියෙන්නෙම risk vs benefits කියන මූලික සිද්ධාන්තය මත. ඒ අනුව, පැරසිටමෝල් පෙත්තක් දීමේ සිට සංකීර්ණ ස්නායු ශල්‍යකර්මය දක්වා සෑම වෛද්‍ය තීරණයක්ම ගන්නේ මේ පදනම මතය.

2. කැනුලා එකක් දැමීම සිදු කිරීමේදී ද ඉහත පදනම මත, කැනුලා එකක් නොදැමීමට වඩා දැමීම වාසි සහගතනම් පමණක් (මයි) එය සිදු කරන්නේ.

3. නව ජන්ම ළඳරුවන්ට ප්‍රතිකාර කිරීමේදී, විශේෂයෙන්ම නොමේරූ (සති 38 ට වඩා අඩු) කැනුලා එකක් දමාගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ දරුවන්ට අවශ්‍ය ශිරාගත බෙහෙත් පමණක් නොව, පෝෂණයද ලබා දෙන්නේ ශිරා මගින් බැවින් ( parenteral nutrition )

4. නව ජන්ම ළඳරුවන් , විශේෂයෙන් සති 30 ට වඩා අඩු වයසින් බිහිවන, අඩු බර ළඳරුවන් දින ගණනාවක් , සමහර විට සති ගණනාවක් නව ජන්ම ළදරු ඒකක වල ප්‍රතිකාර ලබයි.

5. ශිරාවකට ඇතුලත් කරනු ලබන කැනුලාවක් සාමාන්‍යයෙන් දින තුනක් පමණ වන විට අක්‍රිය වීම හෝ ගලවා ඉවත් කිරීම (විෂබීජ යෑම වැළැක්වීමට) සිදුවේ. මේ නිසා අලුත් කැනුලාවක් දැමීමට සිදුවේ.

6. ඉහත 5 හේතුව නිසාවෙන්ම දින 15ක් නව ජන්ම ළඳරු ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවකුට, ඒ වන විට කැනුලා 4-5 දැමීමට සිදුවේ.

7. මෙයට විකල්ප ලෙස ඇති වඩා දීර්ඝ කාලයක රඳවා තබාගත හැකි ශිරාගත තරල ලබාදෙන උපාංග භාවිතයේ දී කැනුලා භාවිතයට අමතර අවධානම් (risk) දැරීමට සිදුවේ. නමුත්, ලැබෙන වාසිය, අවධානමට වඩා වැඩි (risk vs benifit) අවස්ථාවල එවැනි උපකරණ ද භාවිතා වේ.

8. ඉහත කාරණා අනුව දින 10 -15 ක් නව ජන්ම ළඳරු ඒකකයේ සිටින ළඳරුවකුගේ කැනුලා site කිහිපයක්ම තිබිය හැක.

9. මේ අතර සමහර අවස්ථා වල ඉහත කැනුලා site ආසාධනය වීම, ඉදිමීම සහ වෙනත් සංකූලතා ඒමද සිදුවිය හැකිය.

10. මෙම සංකූලතා වලක්වාගැනීමට සෑම විටම උත්සාහා කරන නමුත් එසේ කල නොහැකි අවස්තා සමහර විට ඇතිවේ.

ඉහත කාරණා පිළිබඳ දැනුවත් කිරීම රෝහල් කාර්‍ය මණ්ඩලයේ / සෞඛ්‍ය සේවාවන්වල වගකීම බව සැබෑය. නමුත්, මේ පිළිබඳව දැනුවත් වීම මෙවන් තාක්ෂණික යුගයක අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් හැකි වුවත්, බොහෝ නොවැදගත් ඕපාදූප සෙවීමට වෙහෙසවන බොහෝ දෙනෙක් ඒවාට උනන්දු නැත.

විශේෂයෙන්ම, දිවා රෑ වෙහෙස නොබලා, අනේක විද දුෂ්කරතා මැද, කිරි පොවමින්, කැත කුණු අතගාමින්, ගී සින්දු මුමුණා නළවමින් තමන්ගේ දරුවන් මෙන්, නන්නාඳුනන අනුන්ගේ දරුවන් රැකබලා ගන්නා හෙදියන් ගැන දක්වන්නා වූ කඨෝර අදහස් ගැන ඇතිවන්නේ කණගාටුවකි.

අවසාන වශයෙන්, ඉහළ තාක්ෂණික උපකරණ භාවිතා කළ නොහැකි ද ? කියා නැගූ ප්‍රශ්ණයක්ද තිබූ බැවින් ඉහත පින්තූරය අමුණමි. දැනට ඇති ඉහළම තාක්ෂණික උපකරණ වලිනුත් කැනුලා එකක් ශිරාවකට ඇතුලත් කිරීම ස්වයංක්‍රීයව කළ නොහැක. කළ හැකි උපරිමය වන්නේ ශිරාවක් නිවැරදිව සොයා ගැනීම පමණි. කැනුලාව ඇතුලු කිරීම මිනිස් අතකින් සිදු කළ යුතුය.

 

Social Sharing
අවකාශය නවතම