-දිල්ෂි තත්සරණි-
සුලූ හෙවත් සුලෝචනා සුන්දර ස්ත්‍රියකි. ඇය කොණ්ඩය දිගට ගොතා සාරි අදින්නීය. පිරිපුන් සිරුරැතිය. සෑම විටම සිනා සී සිටින්නීය. ඇගේ සැමියා රැකියාව අත්හරිද්දී පවා ඇය උන්නේ සිනාමුසුවය. ඇයට කේන්ති යන්නේ පුංචිම කාරණාවලටය. ඒ කේන්තියද පවතින්නේ සුළු වේලාවක් පමණි. ඇය සිය පුතුට මවකටත් වඩා යෙහෙළියක් සේ වූවාය. පුතාගේ පාසලේ මව්පියන්ගේ තරගවලදී දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන ගොස් දෙවන ස්ථානය දිනුවාය. සැමියාගේද දුකේදී සැපේදී නොවෙනස්ව ළග උන්නාය. සුලූට සතුටු වන්නට සුළු දේවල් ඇතිය. ඇය විහිලු කරන්නට සේම සිනාවෙන්නටද දන්නීය. පිරිමින්ගේ මාන්නය බිද දමන්නට සේම එය ඔසවා තබන්නටද ඇයට හැකිය. බොළඳ වන්නට, අතිශය ආදරණීය වන්නට, නපුරු වන්නට, අවශ්‍ය විටදී සරාගී වන්නට පමණක් නොව කිසිවක් ගණන් නොගෙන සිටින්නටද ඇයට ඇත්තේ අසාමාන්‍ය හැකියාවකි. මෙය නම් චිත්‍රපටයක පමණක් ඇති චරිතයක් වන්නට ඇතැයි දැනටමත් මෙය කියවන සමහර පිරිමින් සිතා ඇතුවාට සැක නැත. ගැහැණුන්ට හරියට සළකන්නට දන්නා පිරිමින්ට නම් මෙවන් ගැහැණුන් සැබෑ ජීවිතයේදීත් හමුවී ඇතුවාට සැක නැත.
මට සුලූ හමුවන්නේ ‘තුම්හාරී සුලූ‘ යන ප්‍රසිද්ධ හින්දි චිත්‍රටයේදීය. ඒ චරිතයට පණ පොවන්නේ මා බෙහෙවින් අගය කරනා රංගන ශිල්පිණියක වන විද්‍යා බාලන් ය. 2017 වසරේදී නිෂ්පාදනය වූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුරේෂ් ත්‍රිවේනි ය.
සුලූ රැකියාවක් නොකර නිවසේ කටයුතු බලාගන්නා බිරිඳකි. සැමියා සහ පුතු ඇගේ ජීවිතය ය. එහෙත් සුලූට සිහින ඇත. ඇය දකින දකින සෑම සිදුවීමකින්ම, සෑම චරිතයකින්ම ජීවිතයට සිහින එකතු කරගන්නී ය. එහෙත් ඇයට රැකියාවක් කරන්නට නොහැකි වී ඇත්තේ අධ්‍යාපන සුදුසුකම් නොසෑහෙන නිසාවෙනි. ඇගේ වැඩිමල් නිවුන් සොහොයුරියන් කියන්නේ ඇයට රැකියාවකට අයඳුම් කිරීමට මොනවා නැතත් පිටු හතරක් දිග විනෝදාංශ ලැයිස්තුවක් නම් ඉදිරිපත් කිරීමට හැකි බවය. ඇය බොහෝ දේවල් කරන්නට කැමති වුවත් කිසිම දෙයක දිගු කලක් රැඳෙන්නේ නැත. සුලූගේ සුන්දරත්වය ලෙසින් මා නම් දකින්නේ එයයි. ඇය කිසි දෙයක් පිළිවෙළට නොකරයි, සැලසුම් නොකරයි, කිසිවක් පිළිබඳව බැරූරුම්ව නොසිතයි කියා ඇගේ පියා ඇතුළු පවුලේ සියලු දෙනා නිරන්තරයෙන් චෝදනා කළ ද ඇගේ සැමියා අශෝක් සෑමවිටම ඇය වෙනුවෙන් පෙනී සිටීමට උත්සහ දරයි.
චිත්‍රපටයේ පළමු දර්ශනය ලෙසින් තිරයේ දිස්වන දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරගයේදී සුලූ ට දිරි දෙමින් ජය ඝෝෂා නගන ඇගේ සැමියා සහ පුතා සුලූ දෙවන ස්ථානයට පත්වීම මහ ඉහළින් සමරයි. ජීවිතයට ආදරය කරනා අයගේ තල්ලුව තරම් ජීවිතය ඉදිරියට ඇදගෙන යන වෙනත් යමක් නැති තරම් ය. මේ චිත්‍රපටය පුරාවට කියවෙන්නේ එයයි. පළමු දර්ශනයේ දී සුලූට දිරි දෙන සැමියා චිත්‍රපටයේ තවත් අවස්ථාවක දී සුලූ සංගීත පුටු තරගයේ යෙදෙද්දී ඇය දෙස අවධානය යොමු නොකර කල්පනා කරමින් සිටින්නේය. ඇය ඒ මොහොතේ සිතන්නේ තරගය ගැන නොව සැමියා කල්පනා කරන්නේ ඇයි ද යන්නය. කවදාවත් නැති ලෙසින් සුලූ තරගයකින් පැරදෙන්නේ මේ අවස්ථාවේදීය. ජීවිතය සහමුළින්ම වෙනත් කෙනෙකුගේ දෑතින් තැබිය යුතු නැත. එහෙත් බැඳීම් ඇතුළත තනිව ජීවත් වීමක් ද නැත. විටෙක සතුටුදායක වන බැඳීමක්ම තව විටෙක දුක්බර විය හැකිය. ඒ දෙතැනදීම යම්තාක් දුරකට දරාගැනීම ප්‍රඟුණ කළ යුතුය. සුලූ ඒ සැහැල්ලුව යම් තරමකින් ජීවිතයට එක්කර ගැනීමට සමත් වූ ගැහැණියෙක් බව නොකියා බැරිය.
සිහින කොතෙක් තිබුණද බොහෝ විට ජීවිතයේ වගකීම් අපව එක්තරා රාමුවකට කොටු කර බැඳ දමා ඇත. ඒ මදිවාට සමාජයේ සම්මතයන් මහා බැමි සේ අප වටා නැඟී ඇත. ගැහැණුන් ලොවේ හිරිහැර විදින මහා අසරණ සත්ත්වයින් සේ හඳුන්වන්නට මා කැමති නැත. එහෙත් තවමත් ගැහැණුන්ට විශේෂයෙන් බිරින්ඳෑවරුන්ට සහ මව්වරුන්ට යම්කිසි සීමාවන් තුළ හැසිරෙන්නට සිදු වන බව අප සියල්ලන්ම පිළිගත යුතුය. දරුවන් බලා ගන්නට රැකියාවට සමුදෙන්නේ බොහෝ විට ගැහැණිය ය. රේඩියෝ නාලිකාවක රාත්‍රී වැඩසටහන ඍළු කෙනෙක් ලෙසින් සේවයට ගිය පසු සුලූට සියල්ලන්ගෙන්ම අපවාද එල්ල වන්නේ ගැහැණියක් රෑ වැඩ නොකළ යුතු බව සහ අම්මා අවේලාවේ වැඩට යාමෙන් ළමයින් නාස්ති වන බව සමාජය සිතන නිසාය.
සුන්දරව ගලා ආ සුලූ ගේ පවුල හදිසි කඩා වැටීමකට ලක් වන්නේ සුලූ ඒ රැකියාව භාර ගැනීමෙන් පසුවය. එය එසේ විය යුතුද සිතා මම චිත්‍රපටය බලන වෙලාවේදී දුක් වූවෙමි. ඇය රැකියාවෙන් ඉවත් වෙයිදෝ සිතා තැවුණෙමි. ගැහැණියකගේ ජීවිතය පවුලක සීමාවෙන් සෑහෙන්න ඔබ්බට යා යුතුය. පවුලක් යන්නෙහි තේරුම විය යුත්තේ කෙනෙක්ට දුර යන්නට දිරි දීම මිස එක් තැනකට කොටු කර තබා ගැනීම නොවන්නේය. ආදරය කරන දෙදෙනෙක් විවාහයකින් බැඳෙන්නේ එකිනෙකාට ශක්තියක් වන්නට මිසක් කෙනෙක් අනෙකාගේ දුර්වලතාවය වන්නට නොවිය යුතුය. මේ චිත්‍රපටය හරහා එය වඩාත් සුන්දරව පෙන්නුම් කිරීම සතුටට කාරණාවකි.
සුලූගේ කතා කළ යුතුම ගතිගුණයක් ඇත. ඒ ඇගේ සරල බවය. ඇගේ සොයුරියන් දෙදෙනා ජීවිතයේ ඉහළට යද්දී සුලූ සෙව්වේ සරළ සතුටය. ඇය සතුටු වූයේ පුංචි පුංචි තරග වලින් ජයග්‍රණය ලබාය. ඇය ජීවිතයේ කිසිම වතාවක දෙහි ගෙඩිය හැන්ද මතින් ගෙන යන තරගයකදී දෙහි ගෙඩිය බිම වට්ටවා නැති බවට කියන්නේ ආඩම්බරයෙනි. ඇය ජීවිතයට බලාපොරොත්තු සොයා දුන්නේ අතිශය සරල දේවල් තුළිනි. ඇය පරවියන් හා කතා කරන්නීය. කණ්නාඩිය ඉදිරියට වී තමන්ගේ අසල්වැසි ගුවන් සේවිකාව අනුකරණය කරන්නීය. රේඩියෝවෙන් කතා කරන අතර බෝංචි කඩන්නීය. විකාර සින්දු කිසිම චකිතයක් නැතිව ගයන්නීය. මහ රෑ ඇගේ වැඩසටහනට කතා කරනා අමුතු පිරිමින්ද හිනැස්සුවාය. සමහරුන් හැඬවූවාය. මේ සියල්ල නිසාම සුලූට සියල්ලෝම ආදරය කළෝය.
ජීවිතය බරක් ලෙසින් නොගත් අපේක්ෂාවන්ගෙන් පිරුණු ගැහැණිය අතිශය සුන්දරය. එය මේ චිත්‍රපටය හරහා සනාථ කර තිබුණේ පිරිමියෙකි. සුරේෂ් ත්‍රිවේනි ඔබට ස්තූතියි.