“අපරාධ තත්ත්වය වසර කිහිපයක් ඉදිරියට තිබුණා නම් ලංකාවත් සෝමාලියාවක්” ආරක්ෂක ලේකම් කියයි!

මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් රටේ ඉදිරියට තව වසර කිහිපයක් තිබුණා නම් ශ්‍රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි.

මත්ද්‍රව්‍ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් තුරන් කිරීම සදහා වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මගපෙන්වීම පිළිබඳව අවධාරණය කරමින් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේ මෙම තත්වය ඉදිරියට වසර හතරක් හෝ පහක් පැවතුනානම් කිසිම කෙනෙකුට නිදහසේ පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් ඇති විය හැකිව තිබුණු බවය.

ජනාධිපතිතුමන්ගේ දැක්මට අනුව රටේ සියලුම පුරවැසියන් සඳහා ආරක්ෂිත රටක් නිර්මාණය කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද  ඔහු පැවසීය.

මේ අතර මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ  මැගසින්  බන්ධනාගාරය, වැලිකඩ  බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල සහ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ විශාලතම බන්ධනාගාරය වන වැලිකඩ  බන්ධනාගාරයෙන් බන්ධනාගාර නියාමකයින් විසින් මත්ද්‍රව්‍ය, සිම් කාඩ්පත් සහ ජංගම දුරකථන දිනපතාම සොයාගෙන ඇති බවය.

මෙම බන්ධනාගාර තුළ පවතින දැඩි ආරක්‍ෂාව මධ්‍යයේද ජාවාරම්කරුවන් නීති විරෝධී ක්‍රියාවන් දිගින් දිගටම කරගෙන යන බවත්,  බන්ධනාගාරවලට ඇතුළු වන ස්ථානවල යම් යම් අඩුපාඩු ඇති බැවින් එම නීතිවිරෝධී භාණ්ඩ බන්ධනාගාර තුළට ඇතුළු වන බවත් පසුව අනාවරණය කරගත් බව ආරක්ෂක ලේකම් පැවසීය.

බන්ධනාගාර බුද්ධි අංශය ඇතුළු සියලුම බුද්ධි අංශ ඒකාබද්ධ කරමින් බන්ධනාගාරවල ඇති අඩුපාඩු සොයා ගැනීම සඳහා එක්ව වැඩ කරන නව ක්‍රමය අප විසින් අනුගමනය කරන විට මෙය අනාවරණය වු බවද  ඔහු පවසයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න විසින් සංවිධානය කරන ලද 53 වන සේනාංකයේ 25 වන සංවත්සර උත්සවය අමතමින් මේජර් ජෙනරාල් ගුණරත්න මේ බව ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම