ලංකාවේ වික්ටර් හාරා යන්නම ගිහින්….!

බේවිස් මනතුංග මට මුණගැහෙන්නේ උසස් පෙළ හදාරන සමයේ මට ගැලපෙන දේශපාලනයක් සොයාගෙන ගිය ගමනින්. එදා මෙදාතුර ඔහුගේ ඇසුරෙහි සුන්දරත්වය කිසිදා අමතක කළ නොහැකියි.

ඔහුගේ කාමරයේ ඇඳ දෙපස වාඩිවී මා ලියූ ගීතවලට ඔහු තනු නිර්මාණය කරමින් සංගීතය සැපයූ අයුරු, ටේප් රෙකෝඩර් දෙකක් භාවිතා කරමින් තනිවම ඔහු සංගීත කණ්ඩායමක සංගීතය කවමින් එම ගීත පටිගත කළ කාලය කෙසේ අමතක කරන්නද? ඔහුගේ නිවසේ ගත කළ මාස ගණන්, කාරුණික දෙමව්පියන්, රෑ එළිවෙනකම් කළ දේශපාලන සංවාද සුන්දර මතකයන්.

මා හට හමුවූ සැබෑ කොමියුනිස්ට්වාදීන්, මානවහිතවාදින් අතලොස්සෙන් ඉහළ තැනක ඉන්නේ බේවිස්. ඔහුගේ ප්‍රධාන අවිය වූ සංගීතය සෑම අවස්ථාවකම භාවිතා කළේ ඒ වෙනුවෙන්. ලංකාවේ වික්ටර් හාරා ඔහු යැයි පැවසුවත් වැරදි නෑ.

 

ඊට අමතරව පොල් කටුවල කැටයම් කපමින් හිතවතුට දීම විනෝදාශය කර ගත් අයෙක්. කී දෙනෙකුගේ රුව පොල්කටුවලින් ඔහු මතුකරන්න ඇතිද?

 

පෝලියෝ රෝගයෙන් පීඩා විඳිද්දීත් සමාජය වෙනුවෙන් ඔහු කළ කැපවීම අපි සියල්ලන්ටම ආදර්ශයක්. අත්වාරු දෙකෙහි උදව්වෙන් ගමින් ගමට, ගෙයින් ගෙට ඔහු ගිය ගමන් අමතක වෙන්නේ නෑ.

 

එපමණක් නොවෙයි. ඔහුටත් වඩා වැඩිමහළු අයගේ සිට නව යෞවනයින් දක්වා ගැහැණු, පිරිමි අති විශාල සංඛ්‍යාවකගේ ආදරය දිනාගත් මොහු වැනි වෙනත් සුන්දර මිනිසෙක් මම නම් දැකලා නෑ.

බේවිස්ගේ ‘දෝංකාරය’ සංගීත ප්‍රසංගය බොහෝ දෙනෙකුගේ සවනේ තවමත් දෝංකාරය නංවනු ඇත.

නැවත ඔහු අපට හමු නොවනු ඇත. නමුත් කවදාවත් ඔහු අපහට අමතක නොවනු ඇත. ඔහුගෙන් ඇති වූ හිදැස එසේම පවතිනු ඇත.

ඔහුගේම වචනවලින් කියූ ආකාරයට “ඉදින් අවසන ශේෂ විය – දෝංකාරය”. ඔහු ජනිත කළ දෝංකාරය.

මචං බේවිස්. උඹට සුභ ගමන්. ආයේ කවදාවත් අපි හමුනොවේවි. නමුත්, මහනුවර නගරයේ මා ඇතුළු කවුරුත් කාර්ල් මුලර්ගේ මාර ගහ පසු කරන විය උඹව මතක් කරාවි.

උපුටාගැනීම – දීප්ති මහානාම

 

Social Sharing
අවකාශය නවතම