සිවිල් විරෝධතා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් මාර්ගෝපදේශ මාලාවක්…!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද, සිවිල් විරෝධතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රාජ්‍ය‍ සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් දියත් කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ දී පැවැත්වුණි.

එකී මාර්ගෝපදේශ මාලාව දියත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් විවරණයක් කිරීමටත් මා හට ආරාධනය කර තිබුණි.

 

මෙම උපදේශන මාලාවේ මූලික වශයෙන් සඳහන් වන්නේ,

1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) සහ 14(1)(ආ) ව්‍යවස්ථා මගින් භාෂණයේ නිදහසත්, රැස්වීම් පැවැත්වීමේ නිදහසත් මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස ආරක්ෂා කොට දී ඇත. ඒ අනුව පුරවැසියන් හට එකී අයිතීන් බධාවකින් තොර ව ක්‍රියාත්මක කිරීමට අයිතිවාසිකමක් ඇත. පුරවැසියන් සිය භාෂණයේ සහ රැස්වීමේ නිදහස ක්‍රියාත්මක කරන විට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට රාජ්‍ය නිලධාරීන් වග බලාගත යුතු ය.

2) පුරවැසියන් ඉහත කී අයිතීන් භාවිත කිරීමේ දී, එම පුරවැසියන් සද්භාවයෙන් කටයුතු කරන බවට පූර්ව නිගමනයක් ඇත. එම පූර්ව නිගමනය බිඳ හෙළීමේ වගකීම පවතින්නේ රජයට ය.

3) යම් හෙයකින් මෙම අයිතීන් භාවිත කිරීමේ දී සීමාවන් පනවන්නේ නම්, ඒ සඳහා දැඩි අවශ්‍යතාවයක් තිබිය යුතු ය. තව ද එකී අවශ්‍යතාවයත්, ඒ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් ගනු ලබන ක්‍රියාමාර්ගයත් අතර සමානුපාතිකභාවයක් තිබිය යුතු ය. මේ අයිතීන් සීමා කළ හැක්කේ, එම රැස්වීම නිසා යම් අපරාධයක් සිදු වීමේ ප්‍රබල අවදානමක් ඇත්නම් පමණි. ඊට අමතර ව ජාතික සහ ආගමික සංහිඳියාවට හානියක් වන අවස්ථාවක දීත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අවස්ථාවක දීත් මෙම නිදහස සීමා කළ හැකි ය.

4) යම් රැස්වීමක් නීතිවිරෝධී නම් එය විසුරුවා හැරීමට සන්නද්ධ හමුදා හෝ විශේෂ කාර්ය බලකාය කැඳවන්නේ නම්, ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳ අවබෝධ කරගෙන කටයුතු කළ යුතු ය. මන්ද ඔවුන් සටන් කිරීමට පුරුදු ව ඇත්තේ සතුරෙකුට එරෙහි ව බැවින් එම මානසිකත්වය යටතේ උද්ඝෝෂණ හෝ රැස්වීම් විසුරුවා හැරීම නො කළ යුතු ය.

යම් අතිශය විරල අවස්ථාවක දී ආයුධ භාවිත කිරීමට සිදු වුවහොත් කිසිඳු අවස්ථාවක ස්වයංක්‍රීය ආයුධයක් භාවිතා කිරීම නො කළ යුතු ය. යම් රැස්වීමක් විසුරුවා හැරීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය ප්‍රතිපාදන පොලිස් ආඥා පනතේ 76 සහ 56 වගන්තිවල ද, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 95 වගන්තියේ ද දක්වා ඇත. ඊට අමතර ව පොලිස්පතිතුමා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ ද භාවිත කළ යුතු ය. රැස්වීමක් විසුරුවා හැරීමේ දී ගත යුතු පියවර ඉතා ම පැහැදිලි ව, අනුක්‍රමික ව එම චක්‍රලේඛයේ දක්වා ඇත.

ඒ අනුව රැස්වීමක් පටන්ගත් මොහොතේ දී එක එල්ලේ ම ප්‍රහාරයක් එල්ල කිරීම නීතිවිරෝධී වන්නේ ය. මෙම විවරණය කිරීමේ දී මා විසින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ලබා දුන් සුවිශේෂී නඩු තීන්දු කීපයක් ද උපුටා දක්වන ලදී.

ගරු මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා විසින් “ජන ඝෝෂා” නඩුවේ දී සඳහන් කරන ලද සුවිශේෂී ප්‍රකාශය ද මා විසින් අවධානයට යොමු කරන ලද්දේ එය සදාකාලයට ම වලංගු ප්‍රකාශයක් බැවිනි, එනම්,

“ඕනෑ ම පුද්ගලයෙකුට රජයකට සහයෝගය දැක්වීමට හෝ විවේචනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇත. එම අයිතිය අද දින ප්‍රචණ්ඩකාරී ලෙස සීමා කරනු ලැබුවහොත්, එහි අනිටු ප්‍රතිඵලය වන්නේ මතු යම් දිනෙක පවතින තත්ත්වය ඛේදවාචකයකින් අවසන් වීමයි.”

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න
උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
නවතම පුවත්