ඇයි ඒ ගෑනු දරුවා අහසට පැන්නේ?

-කේ. සංජීව-

ඇය පුංචි දියණියක්. වයස 12ක් ඇති. අම්මා ඈ හැදුවේ කොල්ලෙක් වගේ. කලිසන් කමිස තමයි ඇන්දුවේ. කොන්ඩේ තට්ටෙට කැපුවා. අවුරුදු 12ක් කෙලි ගහා කොලු ගහක් වගේ හදලා අන්තිමට අම්මා තීරණය කරනවා මේ කෙලී ළමා නිවාසයකට දෙන්න. ඒකට හේතුව ලිංගික ශ්‍රම කාන්තාවක් වෙන තමන්ට තමන්ගේ පොඩිත්ති ආරක්ෂා කරගන්න බැරිවෙයි කියන බිය. අවසානයේ ඇය නොකමැත්තෙන් උනත් නගරයේ ළමා නිවාසයකට මේ කෙලිත්ති ගෙනත් අරලවනවා. අද ගෙනත් ඇරලුවාම හෙට ඇයට ආරංචි වෙනවා ළමා නිවාසය අසල පුද්ගලයෙක් මේ කෙලී දූෂණය කරලා කියලා. මේක ඇත්ත කතාවක්. නුවරට කිට්ටු නගරයක තමයි මේ දේ වෙන්නේ.

තවත් දුෂ්කර ගමක කතාවක් කියන්නම්. ළමා අපයෝජනයක් පොලීසියට වාර්තා වුණාම ඒක අධිකරණයට ඇවිත් දොස්තර මහත්තයා ළඟට යනවා. අවුරුදු 14 ක වයස මේ අපයෝජනයට ලක්වුණා කියන ගෑනු දරුවා පරීක්ෂා කරන අධිකරණ වෛද්‍යවරයා අධිකරණයට කරුණු වාර්තා කරමින් කියන්නේ ඇයගේ ලිංගික ප්‍රදේශය විවාහ තුනහතරක් කරගත්ත වයස්ගත ගැහැණියකගේ වගේ කියලා. මේකත් ඇත්ත සිදුවීමක්. ලංකාවේ දුෂ්කර ගමක සිදුවීමක්. මේකෙන් අනාවරණය වෙන්නේ මේ ගැහැණු දරුවා නිරන්තරයෙන් දූෂණයට අපයෝජනයට ලක්වෙලා කියන දේ. ඒ දේ සිද්ධ වෙන්න බොහෝදුරට ඉඩ තිබෙන්නේ ගෙදරින් මයි. තාත්තා මාමලා බාප්පලා සියා වගේ වෙන්න පුලුවන් ආපයෝජකයා.

මට මේ කතා දෙක මතක් වුණේ මේ කළුතර සිදුවීම නිසා. මේ වෙනකොට වාර්තා වෙන විදිහට ඇය දූෂණයට ලක්වෙලා නෑ. ඇය විසින්ම අහසට පැන්නා කියලා තමයි කියවෙන්නේ. ඇයව පරීක්ෂා කරපු අධිකරණ වෛද්‍යවරයා ඇයගේ සිරුරේ තුවාල නිරීක්ෂණය කරලා තිබෙනවා. සැපුම් සිහිරීම් වගේ දේවල් තිබුණා කියලා කියනවා. ඇයගේ යෙහෙලිය සහ යෙහෙලියගේ පෙම්වතා ඇය විකුණා ඇති බවටත් කතාවක් යනවා. මේවා සේරම පොලීසියෙන් එන කතා. ලංකාවෙ පොලීසිය වගේම අධිකරණ වෛද්‍යවරුනුත් දැන් විශ්වාස කරන්න අමාරුයි. නීතියක් නැති රටක එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නේ. ෂාෆ්ටර් වගේ කෝටිපති සල්ලිකාරයෙක්ටත් බෙල්ලෙ වැලදාගෙන සයනයිට් කන්න වුණ රටක තව මොන කතාද? සල්ලි වැඩියෙන් දෙන පැත්තට බලය වැඩි පැත්තට අවශ්‍ය විදිහට නැරෙටිව් එක හදන්න පොලීසියේ ඉන්නේ හොඳම වැඩකරුවෝ. ඇත්තටම මේ මහත්වරු හරියන්නේ බඩවැල් ටෙලි කලාවට.

ඒ නිසා වෙලා තියෙන දේ ගැන එතරම් දුරට කතාකරන්න යන්නේ නෑ. ඒත් මේ ඛේදය ගැන කතා කරන්න අවශ්‍යයි. මට හිතෙන්නේ විවෘත අවකාශයක ඉදලා සංවෘත වීම තමයි හේතුව කියලා. ඔහේ වැළඳ ගැනීම වගේම ඔහේ සඟවා ගැනීමත් ප්‍රධාන හේතුවක්. නැතිනම් එළිමහනෙ ඉදලා ගුහාගත වීම තමයි හේතුව. නිදහස් ලිංගික ජීවිතයක ඉදලා ගුහා ලිංගික ජීවිතයකට ඇතුල්වීම මේකට හේතුව වෙන්න පුලුවන්.

ගෙදර අම්මා සහ විශේෂයෙන් ගැහැණු දරුවන් අතර පාරම්පරිකව පැවති ලිංගික සංස්කෘතිය පිළිබඳ කතාබහ ඉවත් වෙලා තිබෙනවා. ඒකට හේතුව දැන් කෙල්ලන්ගේ ඔලුවල උකුණෝ නැති වීම ද දන්නේ නෑ…! ඉස්සර මට මතකයි අපේ ආච්චිලා අම්මලා ඔලුවල උකුනෝ ගන්න ගියාම කියෝන කියවිල්ල. ගොඩක් වෙලාවට කතාවට නිමිත්ත වෙන්නේ ලිංගික සම්බන්ධකම්. ළිඳ ළඟ සංගමයේ කතාව උනත් ඕක තමයි. අන්නාසි ගැට ගැන දැනුමේ ඉඳලා වදන විද්‍යාව ගැන පවා දැනුම ආවේ ගෙදරින්.

මම මෙහෙම කියන්නේ මේවා අද ලෝකයේත් කතා කරන්න ඕනෑ කියන එක නෙවෙයි. දරුවෝ සහ දෙමාපියෝ වැඩිහිටියෝ අතර තිබුණ ඒ කතා සංස්ක්ෘතිය පරිනාමය නොවීම ගැනයි මේ කතාව. හැබැයි ඉතිං ලෝකයම දැන් තනි පුද්ගල ලෝකයකට ඇදීගෙන යමින් තියෙන්නේ. ඒක එහෙම නම් මේ කතා සංස්ක්ෘතියේ ඊළඟ අදියර පන ගන්වන්න ඕනෑ කවුද? ඒක ඇත්තටම කරන්න ඕනෑ පාසල. නැත්තං ටියුෂන් ගුරුවරු. ඉස්කෝලේ ගුරුවරු උනත් ටියුෂන් ගුරුවරු උනත් බහුතරය ගෝතකරුම. උන් ළමයි එක්ක කතාකරන තැන ඉදලා පෙන්වන්නේ උන්ගේ මැටිකම මිසක් වෙන දෙයක් නෙවෙයි. කටපාඩම් කරලා විභාග පාස් වුණාට ඒකෙන් ජීවිතේ ඉගනගන්න ලැබෙන්නේ නෑ. ඇත්තටම මේ පාසල් සහ ටියුෂන් ක්‍රමය කුඩුකරලා විනාශකරලා අලුත් එකක් හැදුවේ නැත්තං මේකට කෙළවෙලාම යනවා ආයේ අහන්න දෙයක් නෑ. ඒ කෙළවෙලා යෑමේ කතාවේ එක එක කොටස් තමයි මේ තිරගත වෙන්නේ.

ලංකාව කියන්නේ බටහිරට සාපේක්ෂව පුලුල් ලිංගික නිදහසක් තිබුණ රටක්. මත් පැන් ගැන වුණත් කතාව එහෙමයි. අපේ ගෙවල් වල වැඩිහිටියෝ ළමයින්ට හංගලා මත් පැන් බීවේ නෑ. පාවට්ටා කොලේ මලක් ඔතලා ගැහුවත් අලියා සුරුට්ටුවක් ඉරුවත් ළමයින්ට හැංඟුවේ නෑ. හැබැයි මේ සඟවා ගැනීමේ සංස්ක්ෘතිය ආවේ අපිට මතක කාලේ. ඒකත් සිද්ධ වුණේ ගෙදරට හරක් මස් ගේන්නේ නැතිව හිටින්න පටන් ගත්තා වගේ තැනකින්. ඉස්සර ගමේ ඩෝප් කාරයෝ සුලභයි. දැන් උන්ට ලැජ්ජයි. ඩෝප් වෙන්නෙත් හොරාට. මෙන්න මේක තමයි තැන. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

සුද්දා ගෙනාපු තිරය ජීවිතේ ඉස්සරැහින් පවුල ඉස්සරැහින් එල්ලගත්තට පස්සේ අපිට කෙළවුණා. ඊළඟට අපි පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ නැත්තං පාදිලි උන්නාන්සේගේ සිවුර නැත්තං ලෝගුව ගෙන්නලා පවුල ඉස්සරහින් එල්ලගත්තා. අපේ මුස්ලිම් මිත්‍රයෝනම් වහාබ්වාදයෙන් මුලු ඇගම වහගත්තා.

ජාතක කතා අස්සෙත් ලිංගික කාරණා ගැන කතාකරපු අපි බන ගෙදරට ගිහිං නිදහසේ බන යන අතරේ ලන්දක නිදි වැද්ද අපි, දැන් සේරම වහගෙන වහගෙන ගිහිං කෙළවගෙන තියෙන්නේ. ගනින්නාන්සේලා හිටපු කාලේ තිබුණේ පන්සල් විතරක් නෙවෙයි ඒ කාලේ තිබුණේ පවුල් පන්සල්. දැන් අපි පවුල පන්සලෙන් ගලෝලා දාලා. ඒකේ ආදීනව අද මහන වෙන පුංචි කොලුපැටව් විඳිනවා. ඒ විතරක් නම් කමක් නෑ මේ සිවුරු රඳවන දරුවන්ට මේක උගන්වනවට, දරුවෝ එක්ක මේ ගැන කතාකරනවාට වත් කැමති නෑ.

පන්සල මිනිස්සුන්ගේ ලෞකික ජීවිතේට මෙම සම්බන්ධ වීමත් මේ ඛේදවාචකයේ එක කොනක්. පල්ලිය වුණත් මෙතනදී අහිංසක නෑ. පල්ලිය උනත් මේ ඛේදයේ අයිතිකාරයෝ. මුස්ලිම් සමාජය නම් ඉතිං සමාජයක් විදිහටම ළමයින් අපයෝජනය පිළිගන්නවා නේ. ඒක වෙනස් කරගන්න නීතියක් හදාගන්න ගියාම එන සංවාදයේ තරමින් පේනවා විශේෂයෙන් ගැහැනු දරුවෝ ගැන මුස්ලිම් සමාජය හිතන විදිහ. මේවා මෙහෙම කීවාම මට ජාතිවාදියා වර්ගවාදියා කියන්න පුලුවන්. ඒත් මේක තමයි තිත්ත ඇත්ත…!

ඇත්තටම දැන් ළමයි සහ දෙමාපිය සම්බන්ධය බොහොම අඩු වෝල්ටීයතාවයක් මත තමයි දුවන්නේ. ඒකටත් හේතුව මේ ස්මාට් යුගයේ අපි ඒක කේන්ද්‍රීය පුද්ගල ජීවිත වලට ගුහාගතවීම වෙන්න පුලුවන්. හැබැයි ලංකාවේ නම් ඒක සිද්ධ වෙන්න තාක්ෂණය හෝ විද්‍යාව නිසා නෙවෙයි ආර්ථික ප්‍රශ්න නිසා. අද දෙමාපියන්ට දරුවන් ගැන සොයාබලන්න ගියොත් දරුවන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ නෑ. ඒ නිසා දැන් අපිට මුලින්ම කරන්න වෙන්නේ දැනුවත් සමාජයක් හදන එක. ඊටපස්සේ සුරක්ෂිත වටපිටාවක් හදන්න අවශ්‍යයි. ළමයින්ට යාළුවෝ එක්ක ජීවත් වෙන විදිහ ගැන පවා පාසලට කියාදෙන්න කාලය ඇවිත්. ඒත් අපි තවමත් කරන්නේ කටපාඩම් කරලා විභාග ලියන එක. විශ්ව විද්‍යාල ගුරුවරු විභාග ප්‍රශ්න පත්‍ර බලන්නේ නෑ කියපු ගමන් ලංකාවේ අධ්‍යාපනය කඩාගෙන වැටෙන්නේ ඒකයි.

අපි සුරක්ෂිතතාවය අතින් ලෝකයේ පහළින්ම ඉන්න රටක්, ඒත් අපි දරුවෝ ගැන කතාකරන්නේ අදහස් දක්වන්නේ වැඩමුලු කරන්නේ නෝර්වේ ස්වීඩ්න් පින්ලන්තය වගේ තැනකින්. අපිට අපේ මට්ටමට ඇවිත් මේක දිහා බලනකම් මේ චිත්‍රය පෙනෙන්නේ නෑ. දරුවන්ට ගහන්න එපා වගේ කතා හොඳයි බටහිර අර්ථයකින්. ඒත් ප්‍රශ්නය තියෙන්නේ බොහෝම පහළ තැනක. දරුවන්ට ගහන්න එපෝ කියනකොට දුසින් ගනන් දරුවන් දෙනිකව ලිංගික අපයෝජනයට ලක්වෙනවා. බොහෝ ගම්වල ගැහැනු දරුවන් තමන් අපයෝජනය වුණා කියලා දන්නෙත් සෑහෙන්න කාලයක් ගියාට පස්සේ.

දරුවන්ට නොගහා හදන්න කියලා කියනකොට අපි දැනගන්න ඕනී ගහන්නේ නැතිව හදන්නේ කොහොමද කියලත් දෙමාපියන්ට කියලා දෙන්න. දරුවෝ හදන එක විද්‍යාවක් නිසා තමයි පාසල අවශ්‍ය වෙන්නේ. ඒ පාසලට කෙළවෙලා ගියාට පස්සේ අපි මොනා කීවත් මොන හොඳ සංකල්පයක් ගෙනල්ලා පැල කරන්න හැදුවත් වැඩක් නෑ. ඒනිසා මම නම් කියන්නේ මේ අධ්‍යාපනය වහාම වෙනස් වෙන්න ඕනී. අධ්‍යාපනය වෙනස් කරන්න ඕනෑ කීව ගමන් අපේ එවුන් හිතන්නේ එකේ පන්තියේ ඉඳලා ඉංග්‍රීසියෙන් ඉගැන්නුවාම සේරම හරි කියලා. එහෙම මුග්ධ විශේෂඥ රංචුවක් එක්ක තමයි මේවා කරන්න වෙන්නේ. කොච්චර දුෂ්කර වුණත් මේ අධ්‍යාපන සංස්ක්ෘතිය අවසන් කරලා අලුත් එකක් හදන වැඩේ අපි කළ යුතුමයි.

මිනිස්සුන්ට යුද්ධ ගැන විතරක් නෙවෙයි ජීවිතේ ගැනත් ඉගැන්විය යුතුයි. මිනිස්සුන්ට තමනුත් සතෙක් බව තේරුන් යන අධ්‍යාපනයක් අපි නිර්මානය කරගත යුතුයි. එතනින් නොනැවතී මිනිස්සුන්ට සතුට ආශාව බලාපොරොත්තුව ගැන කතා කියා දිය යුතුයි…!

Social Sharing
නවතම විශේෂාංග