පරාක්‍රමගේ සෙක්කුව ආයෙත් කරළියට…!

ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය ආයතනය ඉදිරිපත් කරන, ප්‍රවීන නාට්‍යවේදි පරාක්‍රම නිරිඇල්ල ගේ “සෙක්කුව” වේදිකා නාට්‍යයේ නව නිෂ්පාදනයේ මංගල දර්ශන මැයි මස 26 වෙනිදා සවස 3.30 සහ 7.00 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත වේ. නිෂ්පාදනය නිරෝශ් කවිරත්න ගෙනි.

“සෙක්කුව” මා විසින් රචනා කර නිෂ්පාදනය කරණ ලද පළමුවැනි නාට්‍යයයි. 1974 වර්ෂයේ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහල පරිශ්‍රයේ ප්‍රවීණ නාට්‍යවේදී ධම්ම ජාගොඩ මහතාගේ අධ්‍යක්ෂකත්වයෙන් පැවැත් වූ රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය කලාව හදාරණ කාලයේ එහි ආචාර්යවරයෙකුව සිටි ගාමිණී හත්තොටුවේගම මහතා සමඟ වීදිනාට්‍ය කිරීමේදී ලැබූ අත්දැකීම් “සෙක්කුව” නාට්‍යය නිර්මාණය කිරීමට හේතුපාදක විය. ධම්ම ජාගොඩ මහතා සමඟ දඹුල්ලෙ ක`ඵන්දාවේ සහ මාතලේ කොනකලගල සොකරි නාටක දැකීමෙන්ද, වරින් වර විවිධ කෝලම් රැඟුම් දැකීමෙන්ද ප්‍රලය වූ මගේ සිතින් ගෙතුණු සෙක්කුවේ අන්තර්ගත සොකරි සතරපද කවිවල ආර සහ එහි ගුරුහාමි සහ පච්චමීරාගේ රැඟුම්වල ස්වභාවය සොකරි ගැන දන්නා කෙනෙකුට හඳුනාගත හැකි වනු ඇත.

මා එවකට වීදි නාට්‍ය කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකුව සිටි නිසා සෙක්කුව නිර්මාණය කළේ විවෘත රංගභූමිවල රඟදැක්වීම සඳහාය. එච්.ඒ.පෙරේරා, ගාමිණී හෙට්ටිඅරච්චි, නිමල් චන්ද්‍රසිරි ඇතු`ඵ වීදිනාට්‍ය ශිල්පීන් පිරිසක්ද ඊට දායක විය. වීදි නාට්‍යවල නොතිබුණු සෞන්දර්යාත්මක ගුණය සහ සම්මත රංගභූමියේ නාට්‍ය රඟදැක්වීමේදී භාවිතා වන ශීල්පීය ගුණාංගයන් නාට්‍ය කලාවට සමීප විය නොහැකි බහුතර ජනතාවකට විඳගන්නට ලැබෙනු පිණිස ඊට අන්තර්ගත කළෙමි. නමුත් ආර්ථිකමය අභියෝග හමුවේ එය සම්මත රංගභූමිය වෙත වඩාත් ඇදීයාම වැළැක්විය නොහැකි විය. 1976 පැවති ජාතික නාට්‍ය උළෙලේදී එයට හොඳම රචනය ඇතු`ඵ සම්මාන 7 ක් හිමි විය. බොහෝ වාර ගණනක් රටපුරා එය රංගගතද විය.

1976 නිෂ්පාදනයෙන් පසු ජූඩ් ශ්‍රීමාල්ගේ සම්බන්ධතාවය ඇතිව 1998 දී එහි දෙවැනි නිෂ්පාදනයක් කළෙමි. 1976 පළමුවැනි නිෂ්පාදනයෙන් මා බලාපොරොත්තු වූ “සෙක්කුව” බහුතරයක් වෙත රැගෙන යාමේ අපේක්ෂාව ඉටු වූවේත්, එමගින් “සෙක්කුවට” සාධාරණයක් ඉටු වූවේත් ජනකරලිය බහුවාර්ගික නාට්‍ය කණ්ඩායම යොදාගෙන එය නිෂ්පාදනය කර ජංගම රඟහල තුළ සහ එළිමහන් රංගභූමිවල රඟදැක්වීමේදීය. ජනනාට්‍යයක් රංගගත වන පරිද්දෙන් සතර පැත්තේ සිට ජනකරළිය ජංගම රඟහල තුළ මෙම නාට්‍යය නැරඹීම සඳහා වැල නොකැඩී ගලා හා ජන සමූහයකට පංති සහ කුලමල භේදයකින් තොරව සමූහගතව එම රඟහල තුළදීම එය රසවිඳිය හැකි විය. එම නිෂ්පාදනයේ විශේෂත්වයක් වන්නේ මගේ මෙම ප්‍රථම නාට්‍යය නිෂ්පාදනය කර වසර 40කට පසුව මයිසූර්හි රංගායන කලායතනයේ පැවැත් වූ අන්තර්ජාතික නාට්‍ය උළෙලේ ප්‍රධාන අමුත්තා ලෙස මට ගෞරව දක්වමින් “සෙක්කුව” ජනකරළිය නිෂ්පාදනය එම උළෙලේ රංගගත කිරීමට අවස්ථාව ලැබීමයි.

මේ 2023 මැයි 26 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වෙන්නේ එහි සිව් වන නිෂ්පාදනයයි. එම්.සෆීර් නාට්‍යවේදියාණන්ගේ යෝජනාවකට අනුව, නිරෝෂ් කවිරත්න මිතුරාගේ අර්ථපතීත්වය ඇතිව “සෙක්කුව” මෙවර නිෂ්පාදනය වෙයි. වැඩවසම් යුගයේ සිට දුර අනාගතයක් දක්වා වූ ඉතිහාසයක් නාට්‍යානුසාරයෙන් රඟදැක්වීමට 1976 දී ගත් උත්සාහයකි මෙය. නමුත්, 1976 දී දුටු අනාගතයට එළඹ සිටින මා අද කාලය එදා අප හිතුවාට වඩා සංකීර්ණ සහ ව්‍යාකූලතාවලින් ගහණයැයි දකින එහි ගොදුරක් බවට පත් සිටින මිනිසෙක්මි. සෙක්කුව නමැති සංකේතාත්මක සූරාකෑමේ දේශපාලන යන්ත්‍රය ක්‍රමානුකූලව නිශේධනය වී එදා අනාගතය සේ අප දුටු අද කාලය තමන් විසින්ම තමන්ව පාලනය කරගැනීම සඳහා දූෂිත පාලකයින් පත් කර ගන්නා කෛරාටික දේශපාලන යාන්ත්‍රණයකින්ද, සකලවිධ දූෂණයෙන්ද, මෝස්තරගත වූ සූරාකෑමෙන්ද, නන්නත්තාර වූ නීති පද්ධතියකින්ද සමන්විත වූ මිනිසාට අහිතකර වූ සකලවිධ නිහීන ක්‍රමෝපායන්ගෙන් අග්‍රගන්‍ය වූ වර්තමානයක ජීවත් වන අපේ පරපුරක් වෙනුවෙන් “සෙක්කුව” නාට්‍යයෙන් දක්වන කාලත්‍රය සහ එහි අවසානය අද රඟදැක්විය හැක්කේ කෙසේද? පරණ තාලයෙන්ම එය කළහැකිද? අලුත් විධික්‍රම සහ ක්‍රමෝපායයන් අප භාවිතා කළ යුතුද?

අද ඔබ දකින “සෙක්කුව” මෙම නව නිෂ්පාදනය කරන්නට පෙර මට දැනුන එම ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ ප්‍රතිඵලයකි. මේ නිසා “සෙක්කුව” නව නිෂ්පාදනය පෙර නිෂ්පාදනවලට වඩා වෙනස් ස්වරූපයක් ගෙන ඇති සැටි ඔබ දකිනු ඇත. කලාවට අවතීර්ණය වූ මුල් කාලයේ සිටම යහපත් සමාජ වෙනසක් වෙනුවෙන් නාට්‍ය නිර්මාණය කළ මා හට එම අවබෝධයේ ආරම්භක නිර්මාණය වූ “සෙක්කුව” මෙලෙස සිව්වැනි වතාවටත් නිර්මාණය කරන්න ලැබීම භාග්‍යයකි.

 

 

ඊට අර්ථපති ලෙස උර දුන් නිරෝෂ් කවිරත්නටත්, ඊට ඉඩහසර පැදූ එම්.සෆීර් නාට්‍යවේදියාණන්ටත්, තමන්ට හැකි උපරිමයෙන් ඇප කැප වෙමින් මනා විනයකින් යුතුව මෙම නාට්‍යයේ රඟපෑමට දායක වන නාට්‍ය කණ්ඩායමේ සිය`ඵ දෙනාට සහ රංගභූමියෙහිම පෙණී සිට නාට්‍යෝචිත බෙර සංධ්වනියක යෙදෙන ජිතේන්ද්‍ර විද්‍යාපතිටත්, නව ආරක තනු නිර්මාණ සහිත ගීත පද්ධතියක් නිර්මාණය කරමින් නාට්‍යය ඒකාලෝක කළ රණවි අතුකෝරළයන්ටත් මගේ හර්දයංගම ස්තුතිය පුද කරමි. එමෙන්ම, ශබ්ද පරිපාලනයෙන් එම්.ශාරාෆ්ද, රංගභූමි කළමනාකරණයෙන් එම්.සෆ්රාජ සහ සුසිල් විජේසේකරද, රංගාලෝක නිර්මාණයෙන් සහ හැසිරවීමෙන් රජිත ඇල්ලේවලද, ඇඳුම් නිර්මාණයෙන් සෙව්වන්දි විතානගේද, අංග රචනයෙන් සුමේධ හේවාවිතාරණද නාට්‍යයට ලබා දෙන අනුප්‍රාණය ඉත සිතින් අගය කරමි.

පරාක්‍රම නිරිඇල්ල
සෙක්කුව නාට්‍ය රචක සහ අධ්‍යක්ෂ

 

 

 

Social Sharing
අවකාශය නවතම