කෙරවළපිටියේ හා නොරොච්චෝලේ විදුලිය බිඳ වැටීම් පැහැදිලිවම සිද්ධීන් දෙකක්!

පහුගිය දින කිහිපයේ දිවයිනේම විදුලිය බිඳ වැටීමට විදුලි බල අමාත්‍යාංශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් නම් තමා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබුණේ ඊයේ (23) දිනයේදීය.

නව රජයේ විදුලි බල අමාත්‍යවරයා ලෙස රාජකාරී භාර ගෙන පැය 96 ක් ඇතුලත දිවයිනේම විදුලිය බිඳ වැටුණු අතර දින හතරක් පුරා වරින් වර විදුලිය බිඳ වැටුණේය. මෙය කෙරවළපිටිය විදුලිය බෙදාහරින ග්‍රීඩ් උපපොලේ බිඳ වැටීමක් නිසා නොරොච්චෝලේ විදුලිබලාගාරය ඇණ හිටීමක් වු බව මුලින් ප්‍රකාශ විය. පසුව නැවත ප්‍රකාශ කෙරුණේ විදුලි බල අමාත්‍යාංශයේ නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් මෙම බිඳ වැටීම වූ බවය.

කෙසේ නමුදු මෙම බිඳ වැටීම ගැන සෙවීමට අමාත්‍යවරයා අමාත්‍යංශ ලේකම්වරියගෙන් යුත් විද්වත් කමිටුවක් පත් කළේය. ඒ කමිටුවේ වාර්තාව අද (24) සවස ලැබීමට නියමිතය. ඒ අතර තුර අමාත්‍යවරයා අකුරැස්සේදී ඊයේ දින ඉහත ප්‍රකාශය කර තිබුණි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරි සංගමය විසින් සංක්ෂිප්ත කරුණු ඉදිරිපත් කරමින් වාර්තාවක් විද්වත් කමිටුව වෙත ඉදිරිපත් කර ඇත. එම කරුණු දැක්වීම අනුව විදුලි බලාගාර හා සම්ප්‍රේෂණ පද්ධති නඩත්තු කටයුතු සම්බන්ධයෙන් අනුමත ක්‍රමවත් පටිපාටියක් නඟා නොතිබීම මූලීක කරුණ ලෙස දක්වා ඇත. වර්තමානයේ ලං.වී.ම අධිකාරිවරුන් ඇතුලු අනෙකුත් අදාල සේවකයින් පද්ධතියේ බොහෝ නඩත්තු සිදු කරනු ලබන්නේ සිය පළපුරුද්ද හා දැනුම මත වන අතර ආයතනය විසින් ඔවුන්ට නිශ්චිත අනුමත පටිපාටියක් නොමැති බවද මෙමඟින් පෙන්වා දී ඇත. හදිසි අනතුරු වළක්වා ගැනීමට විදුලි අධිකාරිවරුන් ඉවත් කර විදුලි ඉංජිනේරුවරුන් යොදා අනුමත් පටිපාටියකට සේවකයින් යෙදවීම සුදුසු බවට යෝජනා කර තිබේ. එමෙන්ම මෙම පටිපාටි හඳුන්වා දීම ප්‍රමාද කළ නිලධාරීන් ගැන විමර්ශනය කරන ලෙසද මෙම කරුණු දැක්වීමෙන් ඉල්ලා ඇත.

දෙවැනි කරුණෙන් සඳහන් වන්නේ කෙරවළපිටිය උපපොල හා නොරොච්චෝල උපපොල අතර පිහිටි ආරක්ෂක කලාප ක්‍රියාත්මක නොවීමය. කෙරවළපිටිය උපපොලෙහි භූගත දෝශයක් වු විට BUS BAR Earth Fault සම්ප්‍රේෂණ පද්ධතියේ අනෙක් කොටස් වලට විය හැකි බලපෑම වළකාලීම සඳහා ආරක්ෂක කලාප කිහිපයක් පවතියි. පළමුව මෙය ග්‍රීඩ් උප පොළින් පිටතට බලපෑම් ඇතිවීම වලකාලන අතර එසේ නොවුනහොත් ආසන්නතම ග්‍රීඩ් උප පොලෙහි සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ආරක්ෂණ පද්ධතිය මඟින් දෝශය පද්ධතියෙන් ඉවත් කරනු ලබන බවද මෙම කරුණු දැක්වීමේ දක්වා ඇත.

එසේ නම් කෙරවළපිටියේ සිට කෙලින්ම කොටුගොඩ, වේයන්ගොඩ, හලාවත උප පොලවල් වෙත ගමන් කරන අතර ඒවායේ ආරක්ෂක පද්ධති නිසා නොරොච්චෝලේට මෙය බලපෑම් කළ නොහැකි බව පෙන්වා දි ඇත. ඒ නිසා මෙය සිද්ධීන් දෙකක් බවත් මේ අතර ආරක්ෂක පද්ධතීන් ක්‍රියාත්මක නොවුනේ නම් ඒ මන්දැයි වහා සොයා බැලිය යුතුව ඇතැයිද මෙම කරුණු දැක්වීමේ අවධානයට ලක් කර තිබේ.

තෙවැනි කරුණ ලෙස සඳහන් වන්නේ කෙරවළපිටිය හා නොරොච්චෝලය BUS BAR දෙකෙහි භූගත සිදුවීම්ය. නොරොච්චෝල ආශ්‍රිත ආරක්ෂණ පද්ධති හා සම්බන්ධීකරණය මෙම කමිටුවේ විමර්ශනයට ලක් විය යුතු අතර එහිදි මෙම විදුලිය බිඳ වැටීම කෙරවළපිටිය නිසාද නැතිනම් නොරොච්චෝලේ නිසා සිදු වුවක්ද කියා තහවුරු කර ගත හැකි බව සඳහන් කර ඇත. මන්ද මේ වන විට ඇතමුන් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ මෙය කෙරවළපිටියේ උප පොලේ සිදු වු බිඳ වැටීම පදනම්ව නොරොච්චෝලේ බිඳ වැටුණු බවටය. මෙය තාක්ෂණික අධ්‍යනයක් කළ යුතු බවට පෙන්වා දි ඇත.

මීට පෙර සිදු වු විදුලිය බිඳ වැටීම් පත් කළ කමිටු නිර්දේශ ක්‍රියාත්මක වී ඇත්ද යන්න සොයා බැලිය යුතු බව සිව් වැනි කරුණෙන් කියා ඇත.

නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳ වැටීමකදී සිසිලන පද්ධති අඛණ්ඩව ක්‍රියාත්මකව ක්‍රියා කිරීම සඳහා ජනක යන්ත්‍ර දෙකක් ඇති නමුත් අගෝස්තු 17 දා මෙම යන්ත්‍ර ක්‍රියාත්මකව තිබුණේ නම් දෙවන හා තුන් වන ඒකකයන් හී සිසිලන පද්ධති වලට හානි වීම වළක්වා ගනිමින් විදුලි කප්පාදුවද මඟ හරවා ගැනීමට තිබු බව පෙන්වා දී ඇත.

හය වෙනි කරුණෙන් කියා ඇත්තේ විදුලිය බිඳ වැටුණු අවස්ථාවේ පද්ධති පාලන මධ්‍යස්ථානය ක්‍රියා කළ ආකාරය ගැන සෑහීමකට පත් විය නොහැකි බවය.

මෙම සංගමයේ කරුණු දැක්වීමට අනුව ඔවුන් අවධානයට ලක් කළ යුතු විශේෂ තැන් කිහිපයක් පෙන්වා දී ඇත. එමෙන්ම කාලෝචිත යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ.

කෙසේ නමුදු විද්වත් කමිටුවේ වාර්තාව කුමන අදහසක් ලබා දෙනු ඇත්දැයි තීරණය වන්නේ අද සවසය. තීරණය ?

-ශානිකා මාධවී-

Social Sharing
නවතම